September 5, 2024

අන්තර්ජාලය හරහා සිදුවන ළමා අපචාරවලට එරෙහිව සටන් කිරීම සඳහා ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය ශ්‍රී ලංකා පොලිසියට සහාය දක්වමින් සිටී.

ඒ අනුව ශ්‍රී ලංකා පොලිසියේ කාන්තා හා ළමා කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර සහ ශ්‍රී ලංකා පොලිසියේ අලුතින් පිහිටුවන ලද ළමා සූරාකෑමේ කණ්ඩායමේ ස්ථානභාර නිලධාරී කාන්දීපන් සිරිරාජ් ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය ප්‍රමුඛ ළමා සූරාකෑම වැළැක්වීම සම්බන්ධ ඕස්ට්‍රේලියානු මධ්‍යස්ථානයේ සහ ක්වීන්ස්ලන්ත ඒකාබද්ධ ළමා සූරාකෑමට එරෙහි කණ්ඩායමේ විමර්ශකයන් හමු වී තිබේ.

ළමුන්ට එරෙහිව සිදුවන ක්‍රියාකාරකම්වලට එරෙහිව සටන් කිරීමේදී අන්තර්ජාතික ජාලයේ වැදගත්කම ශක්තිමත් කිරීම සඳහා ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසියේ 2024 ජාතික ළමා ආරක්ෂණ සතියේ කොටසක් ලෙස මෙම සංචාරය ලබා දී තිබේ.

අන්තර්ජාලය හරහා සිදුවන ළමා සූරාකෑමට එරෙහිව සටන් කිරීමට ශ්‍රී ලංකා පොලිසියට ප්‍රධාන විමර්ශන මෙවලම් සහ දැනුම වර්ධනය කිරීමට උපකාර කිරීම එහි අරමුණ වී තිබේ.

දකුණු ආසියාවේ සහ මොංගෝලියාවේ ඕස්ට්‍රේලියානු වැඩසටහන යටතේ විදේශ කටයුතු සහ වෙළඳ දෙපාර්තමේන්තුව හරහා මෙම සංචාරය සඳහා අරමුදල් සපයා ඇත.

කලාපය තුළ සිදුවන ළමා අපචාර ව්‍යාප්තිය පිළිබඳ අවබෝධය බෙදාගැනීම සඳහා දත්තවල වටිනාකම පිළිබඳ දැනගැනීම වෙනුවෙන් නියෝජිත පිරිස ක්වීන්ස්ලන්ත ඒකාබද්ධ ළමා සූරාකෑමට එරෙහි කණ්ඩායමේ හි සාමාජිකයන් ද හමු වී තිබිණි.

ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසියේ කමාන්ඩර් Helen Schneider පැවසුවේ අන්තර්ජාල ළමා අපචාර ජාලවලට එරෙහිව සටන් කිරීම සඳහා තම දෙපාර්තමේන්තුවට අන්තර්ජාතික හවුල්කාරිත්වය අත්‍යවශ්‍ය බවයි.

“ශ්‍රී ලංකා පොලිසියේ වැනි හවුල්කරුවන්ට අපට ලබා දිය හැකි ඕනෑම උපකාරයක් හෝ අත්දැකීමක් ශ්‍රී ලංකාවේ පමණක් නොව ඕස්ට්‍රේලියාවේ සහ ලොව පුරා සිටින දරුවන්ට අන්තර්ජාල පරිසරය ආරක්ෂිත කිරීම සඳහා ලබා දෙන්න අපි සූදානම්” යනුවෙන් ඇය පවසා තිබේ.

මෙම සංචාරය මගින් ඇදහිය නොහැකි අත්දැකීමක් සහ ළමා සූරාකෑමට එරෙහිව සටන් කිරීම සඳහා ගෝලීය වශයෙන් පෙළ ගැසෙන්නේ කෙසේද පිළිබඳ අවබෝධයක් ලැබුණු බව ශ්‍රී ලංකා පොලිසියේ කාන්තා හා ළමා කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාව සහ මාලදිවයින භාර ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය ජ්‍යෙෂ්ඨ නිලධාරි මැතිව් ඉනස් පැවසුවේ ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය ප්‍රමුඛ ළමා සූරාකෑම වැළැක්වීම සම්බන්ධ ඕස්ට්‍රේලියානු මධ්‍යස්ථානයේ සඳහා ශ්‍රී ලංකා නියෝජිත පිරිස සහභාගී වීම ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය සහ ශ්‍රී ලංකා පොලිසිය අතර පවතින ශක්තිමත් සබඳතාවයේ පිළිබිඹුවක් බවයි.