September 4, 2024

රුහුණු මහා කතරගම දේවාලයට බැතිමතුන් සිදුකරන පරිත්‍යාග මගින් ඉදිකරන ලද මහරගම අපේක්ෂා රෝහලේ සිව්මහල් ළමා වාට්ටු සංකීර්ණය ඊයේ විවෘත කෙරිණි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ‘හුස්ම’ ව්‍යාපෘතිය යටතේ රණවිරුවන්ගේ ශ්‍රම දායකත්වයෙන් මාස 10ක කාලයක් තුළ ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු අවසන් කරන ලදී.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අනුව එම වාට්ටු සංකීර්ණය ඉදිකිරීම සඳහා වැය වී ඇති මුදල රුපියල් මිලියන 150 කි.

ශ්‍රී ලංකාවේ පිළිකා රෝගයෙන් පෙළෙන දරුවන්ගේ ප්‍රයෝජනය සඳහා ඉදිකරන ලද මහල් 4 කින් සමන්විත මෙම අංගසම්පූර්ණ වාට්ටු සංකීර්ණය තුළ නේවාසික රෝගීන් 70 දෙනකුට ප්‍රතිකාර කළ හැකි පහසුකම් පවතී.

එය මානසික සුවය සඳහා නිර්මාණය කර ඇති ළමා උද්‍යානයක් වැනි පහසුකම් වලින් ද සමන්විත වේ.

එම වාට්ටු සංකීර්ණය මහජන අයිතියට නිල වශයෙන් පැවරීමේ උත්සවය ගුවන් හමුදාධිපතිවරයා වෙනුවෙන් ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සම්පත් වික්‍රමරත්න සහ රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකරගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදී.