September 4, 2024

ඉඩම් නඩු දෙකක් සදහා භික්ෂුවකගෙන් රුපියල් ලක්ෂ 44කට අධික මුදලක් ලබාගෙන එම නඩුවලට පෙනීනොසිටීමෙන් සරත් ඩබ්ලිව්. ද සිල්වා නමැත්තා නීතිඥවරයකුට නුසුදුසු ආකාරයට හැසිරි ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහු නීතිඥ වෘත්තියෙන් නෙරපා හැරීමට ඊයේ (03) නියෝග කළේය.

තුන් මසක් ඇතුළත පැමිණිලි කාර හිමිනමට රුපියල් ලක්ෂ 30 ක මුදලක් ගෙවන ලෙස ද වග උත්තරකාර නීතිඥවරයාට අධිකරණයෙන් නියෝග කෙරිණි.

ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ නියෝග කළේ සිද්ධිය සම්බන්ධ අදාළ භික්ෂුව විසින් කරනු ලැබූ පැමිණිල්ලක් විභාගයට ගැනීමෙන් අනතුරුවය.

දිවුලපිටිය වැල්ලව ශ්‍රී චන්දානන්ද හිමිභික්ෂුව විසින් ගොනුකරන ලද මෙම පැමිණිල්ලේ වග උත්තරකරු වශයෙන් නීතිඥ සරත් ඩබ්ලිව්. ද සිල්වා නමැත්තා නම්කරනු ලැබ සිටියේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කුමුදුනි වික්‍රමසිංහ සහ අචල වෙන්ගප්පුලි යන එකගත්වයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තූරෙ රාජා විසින් ප්‍රකාශයට පත්කරනු ලැබූ තීන්දුවේ මෙසේ සඳහන් වෙයි.

භික්ෂුව කුරුණෑගල මිනුවන්ගොඩ යන දිසා අධිකරණවල ඉඩම් නඩු දෙකක් පවරා තිබූ අතර මෙම ඉඩම් නඩු වෙනුවෙන් පෙනීසිටීම සඳහා රුපියල් 44,50,000/- මුදලක් වගඋත්තරකාර නීතිඥවරයා භික්ෂුවගෙන් ලබාගෙන ඇත.

එහෙත් වගඋත්තරකාර නීතිඥවරයා එම නඩු සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් හෝ පෙනීසිටීමක් සිදුකර නොමැත.

ඉන් අනතුරුව පැමිණිලිකාර හිමිනම මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

ඉදිරිපත් වූ කරුණු අනුව පෙනීයන්නේ වගඋත්තරකාර නීතිඥවරයා නීතිඥවරයකුට නුසුදුසු ආකාරයෙන් කටයුතු කර ඇති බවයි.

එවැනි ජ්‍යෙෂ්ඨ නීතිඥවරයකුට මෙවැනි ආකාරයේ ක්‍රියාවක් සිදුනොකළ යුතු බව අධිකරණයේ මතයයි.

ඒ අනුව වගඋත්තරකාර නීතිඥවරයා නීතිඥ ධුරයෙන් නෙරපීමට තීන්දු කරන බවද තුන්මසක් ඇතුළත රුපියල් ලක්ෂ 30ක වන්දි මුදලක් පැමිණිලිකාර භික්ෂුවට ගෙවන ලෙස නියෝග කරන බව ද තීන්දුවේ වැඩිදුරටත් සඳහන් වේ.

පැමිණිලිකාර භික්ෂුව වෙනුවෙන් නීතිඥ නගීනා විජේසේකර පෙනීසිටි අතර ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොහාන් සහ බන්දු නීතිපති වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ ජ්‍යෙෂ්ඨ නීතිඥ නයෝමි කහවිට පෙනීසිටියහ.