September 4, 2024

භූමිදාන හා ආදාහන හිමිකම් පනත් කෙටුම්පත රජයේ ගැසට් නිවේදනයේ පළකර අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

රජය පවසන්නේ, පුද්ගලයකුගේ මළ සිරුර ඔහුගේ මරණයෙන් පසු භූමිදානයෙන් හෝ ආදාහනය කිරීමෙන් බැහැර කළ යුතුද යන්න තීරණය කිරීමට පුද්ගලයකුට අයිතිය ලබාදීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකයා විසින් සකස් කරන ලද කෙටුම්පතට නීතිපතිවරයාගේ අවසරය ලැබී ඇති බවයි.

මියගිය පුද්ගලයා විසින් එවැනි කැමැත්තක් ප්‍රකාශ නොකළ අවස්ථාවලදී, මියගිය පුද්ගලයාගේ දේහය භූමිදාන කළ යුතුද ආදාහනය කළ යුතුද යන්න තීරණය කිරීමේ අයිතිය මියගිය පුද්ගලයාගේ සමීපතම ඥාතියකුට පැවරිය යුත්තේ මියගිය පුද්ගලයාගේ මනාපයන් සහ ආගමික, සංස්කෘතික හෝ පෞද්ගලික විශ්වාසයන් මතයි.

ඒ අනුව සකස් කරන ලද පනත් කෙටුම්පත රජයේ ගැසට් නිවේදනයේ පළකර අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැතිවරයා කළ යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කර ඇත.