September 4, 2024

රජය විසින් පසුගියදා රාජ්‍ය සේවක වැටුප් වැඩිකරන බව ප්‍රකාශයට පත්කිරීම හරහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මැතිවරණ නීති උල්ලංඝණය කර ඇති බව පවසමින් සමගි ජන බලවේගය ජාතික මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් යොමුකර තිබේ.

2025 ජනවාරි 1 වන දින සිට රාජ්‍ය සේවයේ මූලික වැටුප අඩුම මට්ටමින් 24% කින් වන පරිදි සියලුම රාජ්‍ය සේවා වෘත්තිකයන් සඳහා 24% සිට 50%. දක්වා වන පරිදි ඉහළ නංවන බවට ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කර ඇති බව මැතිවරණ කොමිසම වෙත ලිපියක් යොමුකරමින් සමගි ජනබලවේගය පෙන්වා දෙයි.

2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයකු ද වන වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් රාජ්‍ය නිලධාරීන් සඳහා යෝජනා කරන ලද දේශපාලන දිරිගැන්වීම් ලැයිස්තුවක් මෙම ලේඛනයේ දක්වා ඇති බව ද සමගි ජන බලවේගය එම ලිපිය මගින් පෙන්වා දී තිබේ.

2024 ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්දය ප්‍රකාශ කළ හැකි කාලයඅද (2024 සැප්තැම්බර් 4 වැනි දින) ආරම්භ වන පසුබිමක් තුළ මෙම දිරිදීමනා ලැයිස්තුව පැහැදිලිවම ජනාධිපති මැතිවරණ පනත උල්ලංඝනය කිරීමක් බව ද සමගි ජනබලවේගය පෙන්වා දෙයි.

එබැවින් මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙසත්, අදාළ මාධ්‍ය නිවේදනය මගින් මැතිවරණ නීති උල්ලංඝණය වන බවට ප්‍රකාශයක් කරන ලෙසත්, ඊට වගකිව යුතු පුද්ගලයන් හඳුනාගෙන අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්, ජනපතිගේ මාධ්‍ය නිවේදනය වහා ඉල්ලා අස්කර ගන්නා ලෙස පවසන ලෙසත් සමගි ජන බලවේගය මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටියි.