September 3, 2024

එක් ඡන්දදායකයකු වෙනුවෙන් වැය කිරීමට අවසර දී ඇති මුදලට වඩා එනම් රුපියල් 109ට වඩා වැඩි මුදලක් වියදම් කළ ජනාධිපති අපේක්ෂකයන්ට බරපතළ ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි මැතිවරණ කොමිසම පවසයි.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසන පරිදි වසර තුනකට තම තනතුර අහිමිවීම සහ ප්‍රජා අයිතිය අහිමි කිරීම ද ඊට ඇතුළත් ය.

“අපේක්ෂකයන් මැතිවරණයෙන් පසු දින 21ක් ඇතුළත තම ආදායම සහ වියදම් පිළිබඳ සවිස්තර වාර්තා මැතිවරණ කොමිසමට ලබා දිය යුතුයි. මෙම වාර්තා පුවත්පත් සහ වෙබ් අඩවි හරහා ප්‍රසිද්ධියට පත් කරනවා,” යනුවෙන් ඔහු අවධාරණය කර තිබේ.

මෙම වාර්තාවල වැරදි හෝ අසත්‍ය තොරතුරු ඇත්නම් මහජනතාවට ඒ පිළිබඳ පොලිසියට පැමිණිලි කර අපේක්ෂකයන්ට එරෙහිව නීතිමය පියවර ගත හැකි බව ද ඔහු පෙන්වාදෙයි.

ජනාධිපති අපේක්ෂකයකුට මැතිවරණ ප්‍රචාරක කටයුතුවලදී එක් ඡන්දදායකයකුට වියදම් කළ හැකි උපරිම මුදල ලෙස රුපියල් 109.00ක් බව මැතිවරණ කොමිසම විසින් නියම කර තිබේ.