September 2, 2024

ඉල්ලා අස්වීමට එන බලපෑම් හමුවේ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති කෞෂල්‍ය නවරත්න ඔහුගේ මීළඟ පියවර පිළිබඳ ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් සමඟ සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් ඔහු ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ කමිටුවක් විසින් ගෙන ඇති පියවර ‘පෞද්ගලික පළිගැනීමක්’ ලෙස තමන් හඳුන්වන බවයි.

“මේ අය මගෙන් ඉල්ලා අස්වන ලෙස ඉල්ලා සිටින්නේ දේශපාලන අරමුණු වෙනුවෙන් පුවරු අල්ලාගෙන උද්ඝෝෂණ කිරීමට මා දිරිමත් නොකරන නිසයි. මෙහෙම කරන්නේ මා ඉල්ලා අස්වීමට අවශ්‍ය රාජ්‍ය නොවන සංවිධානවල සහාය ඇති දේශපාලන අභිප්‍රේරිත අතලොස්සක් පමණයි,” යනුවෙන් නවරත්න චෝදනා කර තිබේ.

ඔහුගේ ඉල්ලා අස්වීම සඳහා ඉල්ලීම් පැමිණෙන්නේ සමස්ත නීතීඥ ප්‍රජාවෙන් හෝ සමස්ත නීතීඥ මණ්ඩලයෙන් නොව, සුළුතරයකින් බවට ඔහු තර්ක කරයි.

“මට ඒකමතිකව ඡන්දය ලැබුණා, නමුත් අපේක්‍ෂකයකු ඉදිරිපත් කිරීමට නොහැකි වූ ප්‍රතිවාදී කීපදෙනාම දැන් මට විරුද්ධ වන්නේ මැතිවරණය ළඟ නිසා.” යනුවෙන් නවරත්න සඳහන් කරයි.

ජපාන අන්තර්ජාතික සහයෝගීතා නියෝජිතායතනය (JICA) සමඟ ගනුදෙනුවලට අදාළ විස්තරාත්මක වාර්තාවකින් පසු ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට නීතීඥ සංගමය කළ ඉල්ලීම් අනුව මෙම අදහස් පළ විය.

නවරත්න ප්‍රකාශ කර ඇත්තේ අදාළ කරුණ සම්බන්ධයෙන් කිසිදු ‘මුල්‍ය අවභාවිතයක්’ හෝ ‘සාපරාධී ක්‍රියාවක්’ සිදුවී නොමැති බවට නීතීඥ සංගමය විසින් පත් කරන ලද කමිටුව විසින් මතයක් ප්‍රකාශ කර ඇති බවයි.

තමන් කෙරෙහි තැබූ විශ්වාසය කඩ කළ බවට කමිටුව විසින් මතයක් ගොඩනගා ඇති බව නවරත්න සඳහන් කර තිබේ.

“ඇත්ත වශයෙන්ම මම එම මතය වැරදියි යන ස්ථාවරයේ සිටිනවා,” යනුවෙන් නවරත්න පවසයි.

කෙසේවෙතත්, නීතිඥ සංගමයේ සාමාජික, ජනාධිපති නීතීඥ තාරපති ජයනාග පවසන්නේ “ජයිකා වෙතින් ඔවුන්ට මුදල් දී තිබෙනවා. ඔවුන්ගෙන් හතර දෙනෙකු හෝ පස් දෙනෙකු එය ඔවුන් අතර බෙදාගෙන තිබෙනවා,” යනුවෙනි.

ජනාධිපති නීතීඥ තාරපති ජයනාගට අනුව මෙලෙස ලැබී ඇති මුදල මිලියන 6කි.

ජයනාග පවසන පරිදි ජයිකා ගනුදෙනුව සම්බන්ධයෙන් නවරත්න නීතිඥ සංගමය හෝ විධායක කමිටුව සමඟ සාකච්ඡා කළ යුතුව තිබූ නමුත් ඔහු එසේ කිරීමට අපොහොසත් වී තිබේ.

ඒ අනුව ඉල්ලා අස්වන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටින බවත් ඔහු ඉවත් නොවන්නේ නම් ඔහු නෙරපා හරිනු ඇති බවත් ජයනාග පවසා ඇත.

පරීක්ෂණයකින් පසු අගෝස්තු 31 වැනි දින නිගමනය වූයේ නවරත්න ගිවිසුම්ගත විධිවිධාන සහ සම්පත්දායකයන් තෝරා ගැනීම සම්බන්ධයෙන් විනිවිද භාවයක් පවත්වා ගෙන නොතිබීම නිසා විශ්වාසය කඩ වී ඇති බවයි.(The Morning)