August 31, 2024

නැගෙනහිර පළාතේ ආණ්ඩුවේ ප්‍රබලයන් දෙදෙනකුගේ බලපෑම මත වාකරේ කලපුවෙන් හරි අඩක් පමණ, එනම් ඉඩම් අක්කර 2750ක් ඉස්සන් ගොවිපොළවල් ඇති කිරීම සඳහා නීතිවිරෝධී අන්දමින් ලබාගැනීමේ උත්සාහයක් පවතින බවත්, ඒ නිසා ඒ ඉඩම් භාවිත කරන ප්‍රදේශයේ ධීවර ජනතාව අසරණ වන බවත් ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ පර්යේෂක පරිසරවේදී සජීව චාමිකර දේශයට පවසා ඇත.

දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ ද සාකච්ඡා කර ඇති මෙම ව්‍යාපෘතිය නිසා වාකරේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාම නිලධාරී වසම් 17ක කලපු ධීවර රැකියාවේ නිරත ජනතාව මෙන්ම කිරිගොවීන් ද අයත් පවුල් 20,000 කට වැඩි සංඛ්‍යාවක් අවතැන් වීමට නියමිත බවත්, සජීව පවසා තිබේ.

කිරි ගවයන් හා මී ගවයන් 50,000ක් පමණ වාකරේ කලපුව ආශ්‍රිතව තණබිම්වල ඇතිකරන අතර මීට අමතරව අලි – ඇතුන් 50 කට වැඩි සංඛ්‍යාවක් ගැවසෙන භූමියක් වශයෙන් ද වාකරේ කලපුව වැදගත් වේ.

පරිසරවේදී සජීව චාමිකර වැඩිදුරටත් පවසා අත්තේ, සෝමවතිය වනෝද්‍යානයේ සිට මේ අලිඇතුන් දෙසැම්බර් – පෙබරවාරි දක්වා කාලයේ මෙහි පැමිණ වනබද තණබිම්වල දිවි ගෙවන අතර කලපුව අවට බිම් අහිමිවීම නිසා අලි මිනිස් ගැටුමක් හට ගැනීමට ඉඩ තිබෙන බවයි.

මේ කටයුත්තට එරෙහිව ජනතා විරෝධයක් මතු වී ඇති අතර ජලජීවී වගා ව්‍යාපෘතිවලට භාවිත කරන රසායනික ද්‍රව්‍ය නිසා කලපුවේ ස්වභාවික මත්ස්‍ය ගහණය විනාශ වීමේ අනතුරක් පවතින බව ද ඔහු සඳහන් කර ඇත.

ජාතික පාරිසරික පනත, වෙරළ සංරක්ෂණ පනත හා පුරාවිද්‍යා පනත ද මේ කලාපයේ ව්‍යාපෘතිවලට බලපෑවත් ඒවා නොසළකා මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන බව ඔහු පවසා තිබේ.