August 31, 2024

සරණාගතයෝ සහ මානව හිමිකම් ක්‍රියාකාරීහු රැසක් සරණාගතයන් සඳහා නිදහස සහ ආරක්ෂාව වෙනුවෙන් සටන් කළ පුද්ගලයකුගේ අවමංගල්‍ය කටයුතු සඳහා වයඹ දිග ජර්මනියේ බ්‍රෙමන් වෙත ගමන් කරමින් සිටිති.

විරාජ් මෙන්ඩිස් ප්‍රසිද්ධියට පත්වූයේ 1980 ගණන්වල, ඔහු වසර දෙකක් ගත කළ මැන්චෙස්ටර් දේවස්ථානයක නිදහස් භූමියක් සෙවීමෙන් පසුවය.

ඔහුව බ්‍රිතාන්‍යයෙන් පිටුවහල් කිරීමෙන් පසු ඔහුට නිදහස පිරිනැමූ බ්‍රෙමන්හිදී අගෝස්තු 16 වන දින මියගිය අතර ඒ වනවිට ඔහුගේ වයස අවුරුදු 68 කි.

විරාජ් මෙන්ඩිස් 1970 සහ 1980 ගණන් වලදී වසර 15ක් මැන්චෙස්ටර් හි වාසය කර ඇත.

ඔහු මැන්චෙස්ටර් හි අභ්‍යන්තර නගර ප්‍රදේශයක් වන හුල්මේ හි අසෙන්ෂන් පල්ලියේ නිදහස් භූමියක් සෙවීමෙන් පසුව ඔහුට එරෙහිව පැවරුණු නඩුව පුවත්පත්වල සිරස්තල බවට පත්විය.

ඔහු දින 760 ක් එම පල්ලියේ ගතකළ අතර එය සැළකෙන්නේ නූතන යුගයේ ඕනෑම අයකු අඛණ්ඩව පල්ලියක ජීවත් වූ දීර්ඝතම කාල පරිච්ඡේදය ලෙසයි.

පල්ලිය ඉලක්ක කර ගනිමින් නව-නාසිවාදීන් එල්ල කළ විරෝධතා මධ්‍යයේ ඔහුගේ ආධාරකරුවන් විසින් ඔහුව ආරක්ෂා කරන ලදී.

ඒ වනවිට ඔහු රැඳී සිටියේ අඩි 15 ත් 9 ත් අතර කුඩා කුටියක බව පැවැසේ.

1989 ජනවාරි 18 වන දින පොලිසිය පල්ලියට කඩාවැදුණු අතර හැඳ සිටි පිජාමාව සමගම විරාජ් මෙන්ඩිස් ඇදගෙන ගොස් ඇත.

බලහත්කාරයෙන් ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට පෙර ඔහු ලන්ඩනයේ පෙන්ටන්විල් බන්ධනාගාරය තුළ කෙටි කලක් රඳවා සිටින ලද අතර, එහිදී ඔහු දෙමළ ජාතිකයන්ට හිංසා කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය විවේචනය කරමින් සිට තිබේ.

ඒ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ සිට ඔහු සිදුකළ ක්‍රියාකාරකම් හේතුවෙන් විරාජ් මෙන්ඩිස්ගේ ජීවිතය පිළිබඳ බිය පළ වී තිබූ බව පැවසේ.

ඔහු 1984 දී මැන්චෙස්ටර්හිදී හමු වූ දේශපාලන ක්‍රියාකාරිකයකු වූ කැරන් රොබට්ස් සමඟ විවාහ වූ අතර දෙදෙනාම බ්‍රෙමන් හි පදිංචි වූහ.

ජර්මනියේදී ඔහු ශ්‍රී ලංකා රජය විසින් දෙමළ ජනයාට සිදුකරන හිංසාවන් හුවා දැක්වීමට සහ සරණාගතයන් පීඩාවට පත්වීමේ අවදානමක් ඇති රටවලට පිටුවහල් කිරීමට එරෙහිව සටන් කිරීමට තම ජීවිතය දිගටම කැපකළේය.

විරාජ් මෙන්ඩිස් බ්‍රෙමන්හි දී අන්තර්ජාතික මානව හිමිකම් සංගමය පිහිටවූ අතර, ශ්‍රී ලංකාවේ දෙමළ ජනයාට එරෙහි යුද අපරාධ පිළිබඳ සාක්ෂි විමර්ශනය කරමින් 2010 දී ඩබ්ලින්, 2013 දී බ්‍රෙමන් සහ 2023 දී බර්ලින් යන අන්තර්ජාතික අධිකරණ තුනක් පිහිටුවීමට රෝමය පදනම් කරගත් ස්ථිර මහජන විනිශ්චය සභාව සමඟ කටයුතු කළේය.

ඔහුගේ ජීවිතයේ අවසාන කාලය වන විටත් ඔහු ඔක්සිජන් සිලින්ඩරයක් පවා රැගෙන ප්‍රචාරක රැස්වීම්වලට සහභාගි වූ බව පැවසේ.