August 30, 2024

හෙරොයින් තොගයක් අතුරුදන්වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ භාරකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබාදී තිබේ.

අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ තිබූ රුපියල් කෝටි 24ක ඇස්තමේන්තුගත වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝග්‍රෑම් 12ක් අතුරුදන්වීම සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබිණි.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අවසර ලබාදී තිබේ.

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණ නඩු භාණ්ඩ කාමරයේ සුරක්‍ෂිතව තබා තිබු රුපියල් කෝටි 24ක් වටිනා හෙරොයින් කිලෝ 12ක් අතුරුදන් වී ඇති බව හෙළි වී ඇත.

මහාධිකරණ නඩුවකට ඉදිරිපත් කිරීම සඳහා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණ නඩු භාණ්ඩ කාමරයේ සුරක්‍ෂිතව තබා තිබු මෙම හෙරොයින් තොගය රජයේ රස පරීක්‍ෂවරයාට ඉදිරිපත් කිරීමට බව පවසා රහස් පොලිසස් නිලධාරියකු වශයෙන් පෙනීසිටි පුද්ගලයකු විසින් රැගෙන ගොස් ඇති බව හෙළිවීම නිසා සිද්ධියට සම්බන්ධ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ රහස් පොලිසියේ අධක්‍ෂවරයාට පෙරේදා (28) නියම කළේය.

රහස් පොලිසියෙන් යැයි පවසමින් අදළ හෙරොයින් තොගය රැගෙන ගිය බව කියන ‘තරිඳු යෝෂිත’ නමැත්තා කවුද? යන්න හෙළි කර ගැනීම සඳහා වහාම විමර්ශනයක් කිරීමටද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා රහස් පොලිස් අධක්‍ෂවරයාට නියම කළේය.