August 30, 2024

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු නිලධාරීන් මෙන් පෙනීසිට අලුත්ගම සහ දර්ගා යන නගරවල ව්‍යාපාරිකයන් රවටා ව්‍යාපාරික ස්ථානවලින් ආදායම් බදු අයකර මුදල් ලබාගැනීමට කල්ලියක් ගත් උත්සාහයක් අලුත්ගම පොලිසිය විසින් ව්‍යර්ථ කර තිබේ.

කාන්තාවක් ඇතුළු දෙදෙනකු ස්වර්ණාභරණ අලෙවිසැලකට පැමිණ එහි බදු ලිපිගොනු සහ ව්‍යාපාර ලියාපදිංචිය පරීක්ෂා කර බදු ලිපිගොනුවල අඩුපාඩු කිහිපයක් පෙන්වා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමෙන් වැළකී සිටීමට මුදල් ලබාදෙන ලෙස ඉල්ලා ඇත.

ඔවුන් ගැන සැක සිතූ ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් ඒ පිළිබඳ අලුත්ගම පොලිසියට දන්වා ඇති අතර, පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් එම ස්ථානයට පැමිණ සැකකරු සහ සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස ව්‍යාජ හැඳුනුම්පත් සන්තකයේ තබාගෙන සිටි බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

පොලිසිය මේ සම්බන්ධයෙන් දේශීය ආදායම් බදු කොමසාරිස්වරයාගෙන් සිදුකළ විමසීමකදී ඔහු පවසා ඇත්තේ, ව්‍යාපාරික ස්ථාන වෙත ගොස් ආදායම් බදු අයකිරීම සඳහා දෙපාර්තමේන්තුව නිලධාරීන් යොදවා නොමැති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් සොයා බලා සැකකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඔහු පොලිසියෙන් ඉල්ලා ඇත.

අදාළ සැකකරු සහ සැකකාරිය පොලිස් අත්අඩංගුවට පත්වන විට සෙසු පිරිස සුදු වෑන් රථයකින් ප්‍රදේශයෙන් පළාගොස් ඇති බව පැවසේ.