August 30, 2024

ඉස්ලාමීය සාමාජිකයන්ට සිදුවී ඇතැයි කියනු ලබන ඇතැම් සිදුවීම් කිහිපයක් හේතුවෙන්මෙරට මුස්ලිම් ප්‍රජාව එන්නත් සම්බන්ධයෙන් ප්‍රවේශම් සහගතව සිටින බව සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය ප්‍රකාශ කරයි.

සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ සෞඛ්‍ය ප්‍රතිපත්ති අධ්‍යක්ෂ වෛද්‍ය රවී රන්නන්එළිය පවසන්නේ ශ්‍රී ලංකාව තුළ එන්නත් ලබා ගැනීමට ඇති දෙගිඩියාව ඉතා අඩු බවයි.

කෙසේවෙතත් ප්‍රජාවේ ඇතැම් පිරිස්, විශේෂයෙන්ම මුස්ලිම් ප්‍රජාව, සෞඛ්‍ය සේවාවන් විසින් වෙනස් කොට සැළකීම්වලට මුහුණ දී තිබීම නිසා ඔවුන් අතර යම් පැකිලීමක් ඇති බව ඔහු සඳහන් කරයි.

විශේෂයෙන් කොවිඩ් -19 වසංගතයට ප්‍රතිචාර වශයෙන් වෙනත් රටවල එන්නත් විරෝධී ව්‍යාපාරයක් සිදුවන ආකාරය ශ්‍රී ලංකා බලධාරීන් නිරීක්ෂණය කර ඇති බව වෛද්‍ය රන්නන්එළිය ප්‍රකාශ කළේය.

එන්නත් විරෝධී ව්‍යාපාරය ඇතැම් ප්‍රසිද්ධ පුද්ගලයන් සහ සමාජ මාධ්‍ය බලපෑම් කරන්නන් මෙන්ම ඇතැම් ආගමික කණ්ඩායම් අතර ජනප්‍රිය බව වාර්තා වී තිබේ.

කෙසේවෙතත්, වෛද්‍ය රන්නන්එළිය කියා සිටියේ කොවිඩ් 19 එන්නත් එන්නත් කිරීම සම්බන්ධයෙන් ඉතා අවම විරෝධයක් පවතින බවයි.

එකම සැළකිව යුතු විරුද්ධත්වය වූයේ වසංගතය අතරතුර ජනතාව ෆයිසර් එන්නත එනතුරු බලා සිටි අවස්ථාව බවත් එය ඇත්ත වශයෙන්ම විරුද්ධත්ත්වයක් ලෙස සැළකීමට නොහැකි බවත් වෛද්‍ය රන්නන්එළිය පැවසීය.

බොහෝ අය උසස් තත්ත්වයේ එන්නතක් ලෙස සළකන දේට වැඩි කැමැත්තක් දක්වන බැවින් එය ස්වාභාවික බව ඔහුගේ අදහසයි.

කෙසේවෙතත්, වෛද්‍ය රන්නන්එළිය අවධාරණය කළේ මුස්ලිම් ප්‍රජාවේ කිහිප දෙනෙකු සෞඛ්‍ය සේවාවන් අතින් කොන් වී ඇති බව හැඟෙන බවයි.

සතියක් තුළ අප්‍රිකාවේ නව Mpox රෝගීන් 4,000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවත්, මරණ 622ක් සමඟ අප්‍රිකාවේ මුළු රෝගීන් සංඛ්‍යාව 22,863 දක්වා ඉහළ ගොස් ඇති බවත් වාර්තා වීමත් සමග එන්නත් පිළිබඳ කතාබහ යළි මතුව තිබේ.