August 29, 2024

සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ආයතනය ජූලි මාසය සඳහා පැවැත්වූ මත විමසුම අනුව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට වඩා සියයට 1ක වාසියක් හිමිකර ගනිමින් ඉදිරියට පැමිණ තිබේ.

ජූලි මාසයේ පැවති මත විමසුමක මගින් පෙනී ගොස් ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඇති ප්‍රසාදය ද අඛණ්ඩව ඉහළ යෑමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරන බවයි.

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ආයතනය මෙරට ජනතාවගේ මතය සම්බන්ධයෙන් පවත්වන සමීක්ෂණයේ ජුලි මස මත විමසුම මගින් දිසානායක සහ ප්‍රේමදාස යන දෙදෙනාම කරට කර සිටිය ද ඔවුන් දෙදෙනාම සියයට 40ක ප්‍රතිශතය ඉක්මවා නොමැති බව පෙනීගොස් තිබේ.

අද නිකුත් කෙරුණු ප්‍රතිඵලය යටතේ ජූලි මාසයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රසාදය අඛණ්ඩ වර්ධනයක් කරා ගොස් ඔහුගේ සහයෝගය සියයට 23 දක්වා වර්ධනය වී ඇති බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා සඳහා වන සහයෝගය සියයට 4හි නොවෙනස්ව පැවති අතර, නාමල් රාජපක්ෂ අපේක්ෂකයකු ලෙස ප්‍රකාශ කෙරුණේ අගෝස්තු මාසයේදීය.

අනුර දිසානායකට තරුණ සහාය වඩාත් ප්‍රබල වී ඇති අතර එය සියයට 54කට ආසන්න වේ.

සිංහල ඡන්දදායකයන්ගේ සහාය සියයට 41ක් සහ වඩාත් ධනවත්ම ඡන්දදායකයන් සියයට 42ක් ද ඔහුට සහාය දක්වා ඇත.

සජිත් ප්‍රේමදාසට දුප්පත්ම ඡන්දදායකයන් සියයට 42 සහ සුළු ජාතීන් අතරින් ශ්‍රී ලංකා දෙමළ ජාතිකයන් සියයට 51ක් සහ මුස්ලිම්වරුන්ගෙන් සියයට 65ක සහායක් ලැබී තිබේ.

ජනාධිපති වික්‍රමසිංහගේ සහයෝගය වැඩිවී ඇත්තේ වයස අවුරුදු 60 සහ ඊට වැඩි අයගෙන් සියයට 38ක සහායක් ලැබීමෙනි.

එසේම පිරිමින්ට වඩා කාන්තාවන් අතර වැඩි සහයෝගයක් ද ඔහුට හිමිවී ඇත.