August 29, 2024

මීගමුව, කටාන ප්‍රදේශයේ විදුහලක විදුහල්පතිගේ නිල කාමරය කඩා එහි තිබූ රුපියල් ලක්ෂ හතරක් පමණ වටිනා ලැප්ටොප් පරිගණක දෙකක් සොරාගෙන ඉන් එකක් උකස් කර ලබාගත් රුපියල් පහළොස් දාහක මුදලින් දින කිහිපයක් තිස්සේ ආපනශාලාවලට ගොස් කොත්තු රොටි සහ ප්‍රයිඩ් රයිස් කෑවැයි කියන ආදි සිසුන් දෙදෙනකු කටාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීහු කණ්ඩායමක් විසින් පෙරේදා (27) අත්අඩංගුවට ගනු ලැබූහ.

අත්අඩංගුවට ගත් අවුරුදු දහ අටක සහ අවුරුදු දාහතක වයසේ පසු වන ආදි සිසුන් දෙදෙනාගෙන් ප්‍රශ්න කර හෙළිකර ගත් තොරතුරු මත උකස් කරන ලද පරිගණකය සහ අනෙක් ලැප්ටොප් පරිගණකය සොයාගත් බව පොලිසිය සඳහන් කරයි.

පසුගිය සෙනසුරාදා රාත්‍රී කාලයේ මෙම ආදි සිසුන් දෙදෙනා විදුහල් භූමියට හොර රහසේ ඇතුළු වී එහි දොරක් කඩා, පසුව විදුහල්පති නිල කාමරයට එහි කවුළුවකින් ඇතුළු වී මෙම පරිගණක දෙක සොරාගෙන ගොස් ඇතැයි පොලිසිය පැවැසීය.

විදුහල් භූමියට ඇතුළු වූ මෙම ආදි සිසුන් දෙදෙනා විදුහලේ සවිකර ඇති ප්‍රධාන ස්විචය අක්‍රිය කර එහි සවිකර ඇති සීසීටීවී කැමරාවල ක්‍රියාකාරීත්වය අක්‍රිය කර මේවා සොරකම්කර තිබෙන බව පොලිසිය කියයි.

එහෙත් මෙම සැකකාර ආදි සිසුන් දෙදෙනා විදුහල් භූමියට ඇතුළු වන ආකාරය සීසීටීවී කැමරාවල රූප රාමු පරීක්ෂා කර බැලීමේදී දක්නට ලැබුණු බව පොලිසිය සඳහන් කරයි.

කැමරාවලට සවිකර තිබූ වයර් ද කපා දමා තිබෙන බව පොලිසිය පවසයි.

විදුහලෙන් කරන ලද පැමිණිල්ලක් අනුව විමර්ශන පවත්වා හෙළි වූ තොරතුරු මත මෙම දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

පරිගණකයක් උකස් කර ලබාගත් රුපියල් පහළොස් දහයේ මුදල වැයකර වරින් වර ප්‍රයිඩ් රයිස් සහ කොත්තු රොටි කෑ බවත් අනෙක් පරිගණකය ද උකස් කර ලබා ගන්නා මුදල්වලට ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු රොටි කෑමට සුදානම්ව සිටි බවත් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා පොලිස් ප්‍රශ්න කිරීම්වල දී පවසා ඇතැයි කියයි.

අත්අඩංගුවට ගත් එක් සැකකරුවකු සුපිරි වෙළෙඳසැලකින් ඇඳුම් කට්ටලයක් මිලදී ගෙන ඇතැයි ද පොලිසිය කියයි.(ලංකාදීප)