August 29, 2024

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සම්බන්ධ යැයි කියන මුල්‍ය වංචාවක් ගැන ජනාධිපති අපේක්ෂක සහ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක ඊයේ හෙළිදරව්වක් සිදුකර තිබේ.

ඔහු පවසන්නේ, විගණකාධිපතිවරයා විසින් වාර්තා කරන ලද විශාලතම වංචාව සහ දූෂණය මෙය වියහැකි බවයි.

ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනක රත්නායක කියාසිටියේ, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා හෙවත් කෝප් රැස්වීමකදී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන ආනයනය කිරීමට සම්බන්ධ රුපියල් බිලියන 36ක දැවැන්ත වංචාවක් තමා හෙළිකළ බවයි.

මෙම වැරදි කළමනාකරණය සහ දූෂණය හේතුවෙන් රටේ ඉන්ධන මිල සැළකිව යුතු ලෙස ඉහළ ගොස් ඇති බවට චෝදනා කළ ඔහු, නිසි පිළිවෙත් අනුගමනය කරන්නේ නම්, ඉන්ධන ලීටරයක් රුපියල් 200කින් අඩු කිරීමෙන් මහජනතාවට ප්‍රතිලාභ ලබාගත හැකිව තිබූ පෙන්වාදුන්නේය.

ජනක රත්නායක ප්‍රකාශ කළේ, තමා ඉදිරිපත් කළ චෝදනා මත කෝප් කමිටුව විසින් එම කරුණු සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස විගණකාධිපතිවරයාට උපදෙස් දුන් බවයි.

මෙම විමර්ශනයේ සොයාගැනීම් මගින් රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ දේශපාලනඥයන්ද සම්බන්ධ වෙමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සැළකිව යුතු අවභාවිත සහ මූල්‍ය අක්‍රමිකතා හෙළිදරව් වී ඇති බව ඔහු ප්‍රකාශ කළේය.

විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර, හිටපු විදුලිබල රාජ්‍ය ඇමැති ඩී.වී. චානක, විදුලිබල හා බලශක්ති රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් උවයිස් සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මාපා පතිරණ යන අයගේ නම් අදාළ චෝදනාවට ඈඳී ඇති බව ඔහු පවසයි.

ජනක රත්නායකට අනුව, විගණකාධිපති වාර්තාවේ ප්‍රධාන සොයාගැනීම්වලට ඇතුළත් වන්නේ, ඉන්ධන තෙල් ප්‍රසම්පාදනය සම්බන්ධ වැරදි පියවර, හදිසි ප්‍රසම්පාදනය සහ එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රමාද කිරීමේ පිරිවැය, ලංසු කළමනාකරණය සහ ටෙන්ඩර් අක්‍රමිකතා, ඩීසල් ප්‍රසම්පාදන වැරදි කළමනාකරණය, මිලකරණ ආකෘති වැරදි ලෙස යෙදීම, අහස උසට නැඟී ඇති පිරිවැය සහ අසමාන ඉන්ධන බෙදා හැරීම ආදී කරුණුයි.

විගණකාධිපතිවරයාගේ සොයාගැනීම මගින් තවදුරටත් මූල්‍ය අලාභ වළක්වාගැනීමට සහ මහජන විශ්වාසය යළි ඇති කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තුළ ප්‍රතිසංස්කරණවල හදිසි අවශ්‍යතාව අවධාරණය කරන බව ද ජනක රත්නායක අවධාරණය කළේය.

මෙම හෙළිදරව්වේ ප්‍රතිවිපාක රටටම බලපාන බැවින්, අනාගතයේදී එවැනි අසාර්ථකවීම් නැවත සිදුනොවන බවට සහතික වෙමින්, මෙම ගැටලු කඩිනමින් විසඳීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සහ අදාළ බලධාරීන්ට දැඩි පීඩනයක් පවතින බව ද ජනක රත්නායක පැවැසීය.

ඔහු සඳහන් කළේ, රුපියල් බිලියන 36.5ක පාඩුව හුදු මූල්‍ය ව්‍යසනයක් නොව මහජන විශ්වාසය පාවාදීමක් බවයි.

https://www.ft.lk/top-story/Rs-36-b-fraud-in-CEYPETCO-fuel-procurement-during-crisis/26-766145