August 29, 2024

මහරගම අපේක්ෂා රෝහලේ විකිරණ ඒකකයේ ප්‍රධානියා ඇතුළු චිකිත්සක නිලධාරීන් සියලුදෙනා එම ඒකකය වසාදමා සමුළුවකට සහභාගීවීම හේතුවෙන් එහි පැමිණි රෝගීහු විශාල පිරිසක් දැඩි අපහසුතාවට පත්ව ඊයේ (28) ආපසු හැරී ගියහ.

නිලධාරීන් සමුළුවට සහභාගීවී ඇත්තේ ඒකකය ඊයේ ( 28 ) දින වසා ඇති බවට දැන්වීමක්ද ප්‍රදර්ශනය කිරීමෙන් අනතුරුවය.

අපහසුතාවට පත් වූ පිරිස අතර ඈත ප්‍රදේශවල සිට වාහන කුලියට ගෙන, ප්‍රතිකාර ගැනීමට නිදිවරාගෙන පැමිණි රෝගීහු ද වූහ.

මෙලෙස අහිංසක රෝගීන්ගේ ජීවිත බිල්ලට තබා විකිරණ අංශයේ සියලු දෙනා සමුළුවලට සහභාගි වීම ඉතාමත් පහත් ක්‍රියාවක් බවට රෝගීහු චෝදනා කරති.

මේ සම්බන්ධයෙන් මහරගම අපේක්‍ෂා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අරුණ ජයසේකරගෙන් ලංකාදීපය කළ විමසීමකදී ඔහු මෙසේ පවසා ඇත.

“විකිරණ චිකිත්සක නිලධාරීන්ගේ වාර්ෂික සමුළුවක් නිසා අද (28) විකිරණ ප්‍රතිකාර ඒකකය වහලා. වෘත්තිය සමිතිවලින් පවත්වන සමුළුවලට සහභාගී වෙන්න එයාලට අයිතිය තියෙනවා. ඒත් ඒවාට සහභාගී වෙන්න ඕන රාජකාරී කටයුතු වලට බාධා නොවන විදියට. මේ නිලධාරීන් ඒ ක්‍රමවේදය අනුගමනය කරල නැහැ. ඒ නිසා මේ පිළිබඳව මම අමාත්‍යාංශයට දැනුම් දීලා සුදුසු පියවරක් ගන්නවා”.