August 28, 2024

මෙය සාමාන්‍ය ඡන්දයක් පමණක් නොව ජාතියට තීරණාත්මක අවස්ථාවක් බවත්, ඉදිරි මැතිවරණයේදී බුද්ධිමත් තීරණයක් ගන්නා ලෙසත් පිටපත් රචක සහ රංගන ශිල්පී, කළණ ගුණසේකර රටේ ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

ඔහු මෙම ඉල්ලීම කළේ, අද ‘රට අනුරට – කලාකරුවන්ගේ එකමුතුව’ මැයෙන් පැවැති ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක දිනවීම සඳහා වූ ජනමාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මෙම ජනමාධ්‍ය හමුවට ප්‍රවීණ සාහිත්‍යවේදී ජයතිලක කම්මැල්ලවීර, ප්‍රවීණ රංගන ශිල්පී, බුද්ධදාස විතානාරච්චි, ප්‍රවීණ රංගන ශිල්පී, මහාචාර්ය සෞම්‍ය ලියනගේ, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නර්තන හා නාට්‍ය කලා පීඨයේ මහාචාර්ය මංගල සේනානායක සහ ප්‍රවීණ ලේඛිකා ශාන්ති දිසානායක ඇතුළු කලාකරුවෝ රැසක් එක්ව ටිටියහ.

එහිදී කළණ ගුණසේකර මෙසේද පැවැසීය.

“අසූව දශකයේ ඉපදිලා දශක හතරක් පුරා විවිධ පුද්ගලයන්ගේ බොරු පොරොන්දු, දේශපාලනිකව රට නන්නත්තාර කළ ආකාරය, වෙනත් රටවලට ණය වුණු ආකාරය සහ රට කඩාවැටුණු ආකාරය බලාගෙන ඉඳලා තවදුරටත් මේ සියල්ල දරාගෙන ඉන්න බැරි වේදනාවක් තිඛෙන පුරවැසියෙක් මම. මේ පාර තියෙන්නේ ඡන්දයක් නොවෙයි, ශ්‍රී ලාංකිකයන්ගේ බුද්ධි පරීක‍ෂාවක් කියලා මම හිතනවා. යම් කිසි මධ්‍යම පාන්තික හීනමානයක් නඩත්තු කරන හෝ අතිශයින්ම දරිද්‍රතාවේ ගිලී කුමන හෝ වාසියක් අරභයා තමන්ගේ ජීවිත ගැන පමණක් සිතන සීමිත පිරිසක් ඉන්නවා. මේ රට මේ තාක් විනාශ කළ පිරිස වටා මේ පිරිස් දෙකම එකතු වී සිටිනවා. ඒ වාගේම මෙතෙක් රට විනාශ කළ පිරිසම කණ්ඩායම් තුන, හතරකට ඛෙදී නැවත මේ රට අමාරුවේ දාන්න සූදානම් පිරිසක් ඉන්නවා. එයට එරෙහිව බුද්ධිමත්ව කල්පනා කර බලා මේ රටට විකල්පයක් ගොඩනැගිය හැකිියි කියන අවබෝධයෙන් කටයුතු කරන පිරිසක් අනෙක් පැත්තේ ඉන්නවා.

තවදුරටත් මේ කෙබරවලට අහුවෙලා යන ගමන මෙතැනින් නතර කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා. මගේ පරම්පරාවටත්, මගෙන් පසු පරම්පරාවටත් මම විශේෂ දෙයක් අවධාරණය කරනවා. මේ සෙල්ලම නැටුවා ඇති. අවුරුදු හැත්තෑ ගණනක් සිදු කළ රැවටීමෙන් මිදෙන්න අපේ පරම්පරාව එකතු වී හරි තීරණයක් අරගෙන අපි මේක අවසන් කරන්න ඕනෑ. මේ රට දියුණු කරන්න ඕනෑ. අනුර කුමාර දිසානායක කියන්නේ තව දුරටත් එක පුද්ගලයෙක් ලෙස මම දකින්නේ නැහැ. ඔහු යම් කිසි ක්‍රමවේදයක්, රට ගොඩනැගිය හැකි සැලැස්මක් ලෙසයි මම දකින්නේ. අපි ඒ ආදර්ශය නිවැරැදිව ලබා දී දකුණු ආසියාවටම නව දේශපාලනයක් හඳුන්වාදීමේ හැකියාව ලබාගත හැකියි. වෙන විකල්පයක් නැහැ, මේ පාර වරද්දා ගත්තොත්, කල්පනා කරන්න දෙයක් ඉතිරි වෙන්නෙත් නැහැ. අවුරුදු හැත්තෑහය අසූඑකක් නොකර මේ ශාපය මෙතැනින් ඉවර කරන්න අපි ඔක්කොම එකට එකතු වෙමු, අනුරව මේ රටේ නායකත්වයට පත් කර ගනිමු.