August 28, 2024

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රිපීටර් ෂොට්ගන්(තුවක්කු) ලබාදීමට රජය ගෙන ඇති තීරණය මේ වන විට ආන්දෝලනයට තුඩුදී ඇත.

නැවත මහජන නොසන්සුන්තාව හෝ අරගලයක් ඇතිවුවහොත්,එහිදී ආරක්ෂාව වෙනුවෙන් පාර්ලිමේන්තු බලධාරීන්ගේ ඉල්ලීම පරිදි, මුදල් ගෙවීමෙන් පසු මන්ත්‍රීවරුන් 225 දෙනාටම පිස්තෝල වෙනුවට රිපීටර් ගිනිඅවි නිකුත් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර ඇත.

කෙසේවෙතත් අමාත්යංශය පවසන්නේ, තුන්වැනි පාර්ශවයකට, එවැනි ආයුධ විකිණීමට හෝ මාරුකිරීමට නොහැකි බවට කොන්දේසියක් පනවා ඇති බවයි.

එය මීට මාස දහයකට පමණ පෙර පාර්ලිමේන්තු බලධාරීන් හරහා මන්ත්‍රීවරුන් කරන ලද ඉල්ලීමක් පරිදි ආරම්භ කරන ලද අඛණ්ඩ ක්‍රියාවලියකි.

රිපීටරයක් ​​යනු අතින් නැවත පිරවීමකින් තොරව කිහිපවතාවක් වෙඩි තැබිය හැකි ගිනි අවියකි. එවැනි රිපීටර් තුවක්කුවක එකවර කාට්රිජ් දහයක් පුරවාගත හැකිය.

තුවක්කු සඳහා බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලියේ වත්මන් තත්ත්වය පිළිබඳව කළ විමසීමකදී ආරක්‍ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් දිසානායක පවසා ඇත්තේ, මීට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කළේ චීනයේ නිෂ්පාදිත පිස්තෝල පමණක් බවයි.

එහෙත් ඒවායින් බොහොමයක් මේ වන විට අක්‍රියව පවතින බවත් එමනිසා රිපීටර් ගිනිඅවි නිකුත් කිරීමට තීරණය කළ බවත් ඔහු පවසා ඇත.

“එය ජනාධිපතිවරණය නිසා ගත් තීරණයක් නෙවෙයි. අපි මාස දහයකට පෙර ක්‍රියාවලිය ආරම්භ කළා. දැන් ක්‍රියාවලිය ක්‍රියාත්මකයි. ඉල්ලීමක් කරන ඕනෑම මන්ත්‍රීවරයකුට මුදල් ගෙවා තුවක්කු ලබාගන්න පුළුවන්. වියදම දරන්න රජයට සිද්ධවෙන්නේ නෑ” යැයි ඔහු සඳහන් කරයි.

අතිරේක ලේකම්වරයා වැඩිදුරටත් පවසා ඇත්තේ, නාවික හමුදාවෙන් මෙම ගිනිඅවි නිකුත් කරන බවයි.