August 27, 2024

සංක්‍රමණිකයන් සීමා කිරීමේ අරමුණින්, අධ්‍යාපන කටයුතු සඳහා පැමිණෙන විදේශීය සිසුන් සංඛ්‍යාව සීමා කිරීමට ඕස්ට්‍රේලියාව සූදානම් වේ.

ඕස්ට්‍රේලියාවට ලෝකයේ විශාලතම විදෙස් ශිෂ්‍ය වෙළඳපොළක් පැවතුණ ද 2025 වසර සඳහා නව බඳවා ගැනීම් සංඛ්‍යාව 270,000කට සීමා කිරීමට නියමිතය.

මෙම කප්පාදුව සමඟින් සෑම උසස් අධ්‍යාපන ආයතනයකටම තනි සීමාවක් ලබා දෙනු ඇති බව ඕස්ට්‍රේලියානු රජය නිවේදනය කළේය.

මෙම වෙනස තෘතීයික අධ්‍යාපන ක්ෂේත්‍රය කෝපයට පත් කර ඇති අතර සමහර විශ්වවිද්‍යාල එය “ආර්ථික විනාශයක්” ලෙස හඳුන්වා තිබේ.

කෙසේවෙතත් ඕස්ට්‍රේලියානු රජය පවසන්නේ එමගින් උසස් අධ්‍යාපන අංශයේ ගුණාත්මකභාවය සහ දිගුකාලීන පැවැත්ම වැඩි දියුණු කරන බවයි.

2024 මුල් භාගයේ සිට සැළකීමේදී රජයේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව ඕස්ට්‍රේලියාව විදෙස් සිසුන් 717,500කට පමණ සත්කාරකත්වය සපයයි.

අධ්‍යාපන ඇමැති ජේසන් ක්ලෙයාර්, ඕස්ට්‍රේලියාව විසින් විදේශීය සිසුන් ගෙදර යවා දැඩි දේශසීමා පාලනයක් හඳුන්වා දුන් කොවිඩ් වසංගතය අතරතුර උසස් අධ්‍යාපනයට දැඩි පහරක් එල්ල වූ බව පිළිගත්තේය.

විශ්වවිද්‍යාලවල විදෙස් සිසුන් සංඛ්‍යාව මේ වන විට වසංගතයට පෙර පැවති ප්‍රමාණයට වඩා 10%කින් වැඩි වී ඇති අතර පෞද්ගලික වෘත්තීය සහ පුහුණු සපයන්නන්ගේ සංඛ්‍යාව 50%කින් ඉහළගොස් ඇති බව ඔහු සඳහන් කළේය.

කෙසේවෙතත් ඉක්මන් මුදලක් උපයා ගැනීම සඳහා ඇතැමුන් මෙම කර්මාන්තය මගින් සූරාකෑමට උත්සාහ කරන බව ක්ලෙයාර් පැවසීය.

සාර්ථක වීමට භාෂා කුසලතා නොමැති සිසුන් පිළිගැනීම, දුර්වල අධ්‍යාපනයක් හෝ පුහුණුවක් ලබා දීම සහ අධ්‍යයනය වෙනුවට රැකියාවට යෑමට අදහස් කරන පුද්ගලයන් බඳවා ගැනීම ඇතුළු ආචාරධර්ම විරෝධී හැසිරීම් සම්බන්ධයෙන් රජය මීට පෙර ද චෝදනා එල්ල කර ඇත.

නව ප්‍රතිසංස්කරණ සැලසුම් කර ඇත්තේ වඩා හොඳ සහ සාධාරණ තත්ත්වයක් ඇති කිරීමට බව ද ක්ලෙයාර් පැවසීය.

ඔස්ට්‍රේලියාවේ වාර්තාගත සංක්‍රමණ මට්ටම් ආමන්ත්‍රණය කිරීමට මෙම සීමාවන් උපකාරී වනු ඇති බවත්, දැනට පවතින නිවාස සහ යටිතල පහසුකම් පවතින ගැටලුවලට පීඩනයක් එක්කර ඇති බවත් ඔහු පැවසීය.

රාජ්‍ය විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීම් 2025 දී 145,000 දක්වා නැවත සකස් කෙරෙනු ඇති අතර එය ඔවුන්ගේ 2023 මට්ටමට ආසන්න බව ක්ලෙයාර් පෙන්වා දී තිබේ.

පෞද්ගලික විශ්වවිද්‍යාල සහ විශ්වවිද්‍යාල නොවන උසස් අධ්‍යාපන සපයන්නන්ට විදෙස් සිසුන් 30,000ක් අලුතින් බඳවා ගැනීමට හැකි වන අතර වෘත්තීය අධ්‍යාපන හා පුහුණු ආයතනවල බඳවා ගැනීම් 95,000කට සීමා කෙරේ.