52%
16.8%
23.9%
August 27, 2024

රාජ්‍ය ආදායමේ ප්‍රධාන මූලාශ්‍ර තුනක් වන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව ආශ්‍රිතව විශාල හිඟ බදු ප්‍රමාණයක් ඇති බවට ගෙනයන ප්‍රචාර මිත්‍යාවක් බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ.ගුණසිරි පවසයි.

මෙම ආයතන තුනෙහිම හිඟ බදු ප්‍රමාණය රුපියල් බිලියන 90ක් පමණක් බව පෙන්වා දුන් ඔහු ලෝකයේ ඕනෑම රටක සමස්ත බදු ආදායමෙන් 3%-5%ත් අතර හිඟ බදු ප්‍රමාණයක් පවතින බවද සඳහන් කළේය.

සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ.ගුණසිරි මෙම අදහස් පළ කළේ , “ස්ථාවර රටකට සැවොම එක මඟකට” මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී ඊයේ (26) පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.

මෙම ආයතන තුන 2023 වසරේදී ඉතිහාසයේ වැඩිම ආදායම ලෙස රුපියල් ට්‍රිලියන 3 ඉක්මවූ ආදායමක් ලබා ගත් බවත් වසර 25කට පසු ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ඇති කිරීමට සමත් වූ බවත් ඔහු සඳහන් කළේය

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ.ගුණසිරි මෙසේද පැවසීය,

“මුදල් අමාත්‍යාංශය යටතේ තිබෙන රාජ්‍ය ආදායම් ලබාදෙන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව යන ආයතන තුන නීතිමය රාමුවක් තුළ අදාළ බදු එකතු කිරීම් සිදු කරනවා. නමුත් මෙරට විශාල හිඟ බදු ප්‍රමාණයක් ඇති බවට
මිත්‍යා මත ප්‍රචාරය කිරීමට සමහර කණ්ඩායම් කටයුතු කරනවා. නමුත් සමස්තයක් ලෙස ගත් කල ආයතන තුනෙහිම හිඟ බදු ප්‍රමාණය රුපියල් බිලියන 90කටත් අඩු බවද කිව යුතුයි. එම බදු ආදායම් ගෙවීමට තිබෙන බහුතරයක් ආයතන රාජ්‍ය ආයතන බවද සඳහන් කළ යුතුයි. අනෙක් ආයතන වෙතින් බදු මුදල් අය කර ගැනීම සඳහා අධිකරණ‍ය වෙත යොමු වී තිබෙනවා. එම නිසා එම මුදල් සැළකිව යුත්තේ අත්හිටවූ බදු ලෙසයි. එම අධිකරණ ක්‍රියාවලිය නිමවූ පසු නැවත බදු අය කර ගැනීමේ හැකියාව තිබෙනවා. එසේම ඕනෑම රටක සමස්ත බදු ආදායමෙන් 3%ක් -5%ත් අතර ප්‍රමාණයක බදු හිඟයක් පවතිනවා. නමුත් සමස්තයක් ලෙස ගත් කල පසුගිය වසර දෙකක කාලය තුළ රාජ්‍ය බදු ආදායම විශාල ප්‍රමාණයකින් වැඩි වුණා.

ඒ අනුව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව යන ආයතන ත්‍රිත්වය 2023 වසරේදී ඉතිහාසයේ වැඩිම ආදායම ලෙස රුපියල් ට්‍රිලියන 3 ඉක්මවූ ආදායමක් ලබා ගෙන තිබෙනවා. ඒ සමඟ වසර 25කට පසු ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ඇති කිරීමට සමත් වූ බවත් පැවසිය යුතුයි.

මෙහිදී සුරාබදු දෙපාර්තමේන්තුව වෙත අවධානය යොමු කළහොත් එය 2023 වසරේ රුපියල් බිලියන 179ක ආදායමක් ලබාගෙන තිබෙනවා. 2024 වසරට ලබා දී තිබෙන ඉලක්කය රුපියල් බිලියන 232යි. 2023 අගෝස්තු 22 වන දා වනවිට අප රුපියල් බිලියන 106.5ක ආදායමක් ලබා තිබූ අතර, 2024 අගෝස්තු මාසයේ දී රුපියල් මිලියන 132.7ක ආදායමක් හිමි කර ගෙන තිබෙනවා. එම කාල සීමාව අනුව මේ වසරේ දී 24.6%ක වර්ධනයක් පෙන්නුම් කරනවා .

ඒ වගේම සුරාබදු දෙපාර්තමේන්තුවට බලපත්‍ර නිකුත් කිරීම මඟින් ආදායම් ලැබෙනවා. නව බලපත්‍ර ලබා දීමේදී මහ නගර සභා සීමාවක් තුළ රුපියල් මිලියන 15ක්, නගර සභා සීමාවක් තුළ රුපියල් මිලියන 12.5ක් හා ප්‍රාදේශීය සභා සීමාවක් තුළ රුපියල් මිලියන 10ක් ලබා ගැනීම සිදුකරනවා. නිෂ්පාදනාගාරයක් සඳහා බලපත්‍ර නිකුත් කිරීම සිදුකරන්නේ රුපියල් මිලියන 25ක මුදලකටයි. මේ වසරේ අගෝස්තු 20 වැනිද වන විට රුපියල් බිලියන 132.4 ප්‍රමාණයක් උපයා ගැනීමට අප දෙපාර්තමේන්තුව සමත් වී තිබෙනවා. 2023 වසරේ අප ආයතනයේ හිඟ බදු මුදල රුපියල් මිලියන 1040ක් වුවත් එයින් රුපියල් මිලියන 609 ක් මෙම වසරේ පෙබරවාරි මාසය වන විට අය කර ගැනීමට හැකියාව ලැබුණා. අනෙක් සියලු හිඟ බදු මුදල් අධිකරණ ක්‍රියාවලියකට නතුවී තිබෙන බව කිව යුතුයි.”

 

52%
16.8%
23.9%