August 26, 2024

මාර්ගගත ක්‍රමය(Online) ඔස්සේ දුම්රිය ප්‍රවේශපත් වෙන්කර ගැනීම සදහා වූ ‘pravesha’ වෙබ් අඩවිය එළිදැක්වීම විෂය භාර ඇමැති බන්දුල ගුණවර්ධණගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණේ පසුගිය අගෝස්තු 22 වැනිදාය.

එතැන් සිට (අගෝ. 23 සිට) www.pravesha.lk වෙබ් අඩවිය මගින් මගී ජනතාවට ඩිජිටල් දුම්රිය ප්‍රවේශ පත්‍රයක් මිල දී ගැනීමට හැකියාව ලබාදී තිබේ.

දැනට දුම්රිය ධාවනය වන ඕනෑම දුම්රිය ස්ථාන දෙකක් අතර ගමන් කිරීමට අවශ්‍ය 2 වන හා 3 වන පන්තියේ ප්‍රවේශ පත්‍ර බැංකු මගින් නිකුත් කරනු ලබන ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාඩ්පතක් මගින් මුදල් ගෙවා මිල දී ගත හැකි වන අතර මුදල් ගෙවූ පසු කෙටි පණිවිඩයක් මගින් හෝ ඊමේල් පණිවිඩයකින් මුදල් ගෙවන්නාගේ ජංගම දුරකතනය වෙත ප්‍රවේශපතේ QR කේතය ලබාගත හැකිය.

එම QR කේතයට අදාළව දුම්රිය ස්ථානයෙන් පරීක්ෂා කර ප්‍රවේශ පත්‍රයේ සදහන් ගමන් කරන දිනය තුළ දී පමණක් දුම්රියේ ගමන් කිරීමට අවස්ථාව හිමි වේ.

ගමන් කිරීමට අපේක්ෂා කරන දිනට දින හතකට පෙර සිට මෙම වෙබ් අඩවිය ඔස්සේ ඩිජිටල් ප්‍රවේශපත්‍ර ලබා ගත හැකි ය.

ගැටලුව වන්නේ “අලියා ගත්තා හෙණ්ඩුව නොගත්තා” වැඩේ දැන් මේ ඩිජිටල් දුම්රිය ප්‍රවේශ පත්‍ර වැඩසටහනට සිදුව තිබීමයි.

හඳුන්වාදී දින හතරක් ගතවෙද්දී, දුම්රිය මගීන් බොහොමයක් මෙම වඩා පහසු ඩිජිටල් ක්‍රමයට යොමුව ඇති නමුත්, එලෙස ලබාගන්නා ප්‍රවේශ පත්‍රය දුම්රිය ස්ථානයට ඇතුළුවීමේදී හෝ පිටවීමේදී ස්කෑන් කිරීමට කිසිවකු හෝ කිසිදු යන්ත්‍රයක් අත්තේ නැත.

කොළඹ කොටුව සහ මරදාන වැනි ප්‍රධාන දුම්රිය ස්ථානවල පවා අද වන විට ටිකට් පරීක්ෂකවරුන් දොරටුවල සිටියද, ඔවුන් පරික්ෂා කරන්නේ, දුම්රිය ස්ථානයේ කවුළුවෙන් ලබාගන්නා ප්‍රවේශපත්‍ර පමණකි.(සමහර විට ඔවුන්ගේ සාක්කුවල ස්කෑන් යන්ත්‍ර තිබෙනවා වන්නට පුළුවන)

එමනිසා ඕනෑම අයකුට ඩිජිටල් ප්‍රවේශපත්‍රය යැයි කියා QR කේතයක් පෙන්නා දුම්රිය ස්ථානය තුළට යෑමට අවකාශය සැලසී ඇත.

මෙම තත්වය අඛණ්ඩව පැවතුණහොත් සිදුවන්නේ, හොරෙන් කෝච්චියේ යන පිරිසට උඩගෙඩි දීමකි.

අනෙක් අතට මගීන්ට ඉතාම වාසිදායක සහ පහසු මෙම QR කේත ක්‍රමය නිසා දුරිය දෙපාර්තමේන්තුවට පාඩු සිදුවන බව නුදුරු අනාගතයේදීම ප්‍රකාශ වීම වැලැක්විය නොහැකි වනු ඇත.

එක්කෝ මෙය සිතාමතා සිදුකරන්නකි. නැතිනම් මම වැඩක් කළා කියා පෙන්වන්නට බන්දුල ගුණවර්ධන තකහනියේ ‘බාගෙට’ කළ වැඩකි.

දුම්රිය ස්ථානවල QR කේතය ස්කෑන් කිරීමට යන්ත්‍ර නොමැතිව ඔන්ලයින් ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමේ පහසුකම සැලසීමෙන් පමණක් අලුත් සේවාවක් හඳුන්වාදුන්නා වන්නේ නැත.

එමනිසා මෙම යහපත් කටයුත්ත අතරමග නතර කර දැමීමට ප්‍රථම, වැඩේ සම්පූර්ණ කර ජනතාවට, දුම්රිය ගැන දැන්වත් හොඳක් කියන්නට අවස්ථාවක් ලබාදෙන ලෙස ඇමැති බන්දුලට සිහිපත් කරමු.