August 26, 2024

අනුරාධපුර ප්‍රධාන පෙළේ හෝටලයක ඊයේ (25) පැවැති ජනපති අපේක්ෂකයකුගේ විද්වත් හමුවට සහභාගි වූ ආරාධිතයන් සඳහා සූදානම් කොට තිබූ රාත්‍රී භෝජන සංග්‍රහය මැතිවරණ කොමිෂන් සභාවේ අනුරාධපුර සහකාර කොමසාරිස්වරයා තහනම් කිරීමට පියවර ගත්තේය.

අනුරාධපුර හෝටලයක රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වන බවට අනුරාධපුර සහකාර මැතිවරණ කොමසාරිස් කාර්යාලයට ලද පැමිණිලක් අනුව එම කාර්යාලයේ නිලධාරීන් පිරිසක් පොලිස් නිලධාරීන් සමග පැමිණ, ආරාධිතයන් සඳහා ලබා දීමට තිබූ පිසූ ආහාර සඳහා මුද්‍රා තබන ලද අතර, ආරාධිතයන් සඳහා ලබාදීමට තිබූ මත්පැන් බෝතල් ද පොලිසිය භාරයට ගන්නා ලදී.

මෙම විද්වත් හමුවට ආරාධිතයෝ 150ක් පමණ පැමිණ සිටියහ.

මෙම ආහාර පාන වෙනත් ස්ථානයකට හෝ රැගෙන යෑමට අවසර දෙන ලෙස සංවිධායකයන් මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් හා පොලිස් නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිය ද, එම ඉල්ලීම ද ප්‍රතික්ෂේප විය.

හෝටලය සඳහා පොලිස් ආරක්ෂාව ද යොදවා තිබිණි.(ලංකාදීප)