August 25, 2024

වාහන මිලදී ගැනීමකට අදාළ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට අවශ්‍ය බව දන්වා කැඳවූ පොලිස් කොස්තාපල්වරයකුට අමානුෂික ලෙස පහරදී අත්අඩංගුවට ගෙන අභූත චෝදනා නඟමින් නඩු පැවරූ එවකට ඇඹිලිපිටිය පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදුකරන ලෙස හා එම නිලධාරියාට එරෙහිව කෲර වධහිංසා වැළැක්වීමේ පනත යටතේ නඩු පවරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය පෙරේදා (22දා) පොලිස්පතිවරයාට හා නීතිපතිවරයාට නියෝග කළේය.

මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු වගඋත්තර කරුවන්ගේ එකී අමානුෂික ක්‍රියාදාමය මගින් පෙත්සම්කාර පොලිස් කොස්තාපල් ප්‍රියන්ත ගමගේ ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට නිගමනය කළ ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කරුට රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ගෙවන ලෙසටද පොලිස් පරීක්ෂක එස්.ආර්. ඩයස් නමැති නිලධාරියාට නියෝග කළේය.

එකී වන්දි මුදල මාසයක කාලයක් ඇතුළත පෞද්ගලික මුදලින් ගෙවිය යුතු බවටද නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කරු වෙනුවෙන් නඩු කටයුත්තට පෙනීසිටි නීති ආධාර කොමිෂන් සභාවටද රුපියල් 50,000ක නඩු ගාස්තුවක් ගෙවන ලෙසටද එම පෙත්සමේ පළමුවන වගඋත්තරකාර පොලිස් පරීක්ෂකවරයාට වැඩිදුරටත් නියෝග කළේය.

එවකට කුට්ටිගල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පෙත්සම්කාර පොලිස් කොස්තාපල්වරයා 2015.07.26 වැනිදා ඇඹිලිපිටිය පොලිසියට පැමිණි අවස්ථාවේදී පළමුවැනි වගඋත්තරකාර මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා පොලිස් කොස්තාපල්වරයාගේ මුහුණට හා හිසට පහරදී සිරමැදිරිය විවෘත කොට එය තුළට විසිවන පරිදි පාදයෙන් පහරදී ඇති බවත්, ඔහුගේ දතක කොටසක් කැඩී තොල් යට පුපුරා ලේ ගලනතුරු පහරකා සිටි ඔහු පසුදා වනතුරුම රෝහල්ගත කිරීමට හෝ පියවර ගෙන නොමැති බවත් එකී තීන්දුව මගින් පෙන්වා දී තිබිණි.

පසුදින එනම් 27 වැනිදා පෙත්සම්කාර කොස්තාපල්වරයා රෝහල්ගත කළ පසුව ඔහු පරීක්ෂා කළ අධිකරණ වෛද්‍යවරයා අධිකරණයට ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තා හා සෙසු වෛද්‍ය වාර්තා අධ්‍යයනය කළ තම අධිකරණයට පෙත්සම්කරුට සිදුවී ඇති අමානුෂික පහරදීම් පිළිබඳව මනාව අවබෝධයක් ලැබුණ බවත්, වගඋත්තරකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ බී වාර්තාවක් අනුව 29 වැනිදා රෝහලට පැමිණි ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත්වරයා ඔහු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කොට ඇති බවත් එම තීන්දුව මගින් පෙන්වා දී තිබිණි.

පොලිස්පතිවරයා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ පමණක් නොව පොලිසිය භාර අමාත්‍යවරයාගේ හා එම අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ හා ජාතික පොලිස් කොමිෂන් සභාවේද වගකීම වනුයේ, පොලිසිය විසින්ම රටේ පොදු ජනතාවට පමණක් නොව කනිෂ්ඨ පොලිස් නිලධාරීන්ටද සිදුකරන එවැනි අමානුෂික වධහිංසා කිරීම් ඇතුළු නීතිවිරෝධී ක්‍රියා මැඩපැවැත්වීමට අවශ්‍ය මාර්ගෝපදේශ සකස් කොට ඒවා ක්‍රියාත්මක වන්නේද යැයි දැඩිව සොයාබැලිය යුතු යැයිද විජිත් කේ. මලල්ගොඩ, යසන්ත කෝදාගොඩ හා මහින්ද සමයවර්ධන යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල එම තීන්දුව මගින් පෙන්වා දී තිබිණි.

පළමුවන වගඋත්තරකාර පොලිස් පරීක්ෂකවරයාට අමතරව එම පෙත්සමේ දෙවන වගඋත්තරකරු ලෙස නම්කොට තිබූ එවකට එම පොලිස් ස්ථානයේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස සේවය කළ උප පොලිස් පරීක්ෂක රණසිංහ නමැත්තාට එරෙහිවද සුදුසු විනය පියවර ගන්නා ලෙසටද පොලිස්පතිවරයා ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට හා ජාතික පොලිස් කොමිෂන් සභාවට ද විනිසුරු මඬුල්ල නියෝග කළහ.