August 25, 2024

ලබන මාසයේ නව විදේශ ගමන් බලපත්‍ර තොගය ලැබෙන තුරු විදේශ ගමන් බලපත්‍ර හිඟය සම්බන්ධයෙන් දැනට මතුව ඇති අර්බුදය කළමනාකරණය කිරීම සඳහා දිනකට විදේශ ගමන් බලපත්‍ර 1000ක් පමණක් නිකුත් කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට ඉක්මන් වන ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ආරක්‍ෂිත විශේෂාංග සහිත නව පෙනුමැති විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාණවත් තොගයක් ලබන මස ලැබීමට නියමිත බැවින් ලබන මාසය වන තෙක් සිටින ලෙසයි.

“අපි නව විදේශ ගමන් බලපත්‍ර මිලියන පහක් සඳහා ඇණවුම් කර තිබෙනවා. විදේශගත වීමට හදිසි අවශ්‍යතාවක් ඇත්නම් මිස මෙම නව විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීම වඩා හොඳයි,” යනුවෙන් ඔහු පවසා තිබේ.

පැරණි විදේශ ගමන් බලපත්‍රය ක්‍රමානුකූලව ඉවත් කර රටට වඩාත් ආරක්ෂිත සංචාරක ලියවිල්ලක් හඳුන්වා දීමට දෙපාර්තමේන්තුව කටයුතු කිරීමත් සමඟ මෙම ගමන් බලපත්‍ර හිඟය නිර්මාණය වී ඇති බව ඔහු පෙන්වා දී තිබේ.

“හදිසි විදේශ ගමන් අවශ්‍යතාවක් නොමැති නම් විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට ඉක්මන් නොවන ලෙස මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා,” යැයි ද ඔහු පවසයි.