August 25, 2024

සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයේදී සාම්ප්‍රදායික ලී පෙට්ටි වෙනුවට කාඩ්බෝඩ්වලින් සාදන ලද ඡන්ද පෙට්ටි පමණක් භාවිත කරන අතර ඒවා සෑදීමට මැතිවරණ නිලධාරීන් මේ වනවිට කටයුතු කරමින් සිටින බව වාර්තා සඳහන් කරයි.

ඡන්ද පෙට්ටි කුඩා, මධ්‍යම සහ විශාල ප්‍රමාණවලින් සාදනු ලබන අතර, එක් එක් ලියාපදිංචි ඡන්දදායකයන් සංඛ්‍යාව අනුව ඡන්ද මධ්‍යස්ථාන වෙත යැවීමට නියමිතය.

2019 ජනාධිපතිවරණයේදී ද කාඩ්බෝඩ් පෙට්ටි පමණක් භාවිත කළ බව මැතිවරණ කොමිසමේ වාර්තා පෙන්වාදෙයි.

2020 මහමැතිවරණයේදී ලී සහ කාඩ්බෝඩ් පෙට්ටි දෙකම භාවිත විය.

2024 අයවැයෙන් වෙන්කර ඇති රුපියල් බිලියන 10ක මුදල මැතිවරණය පැවැත්වීම සඳහා ප්‍රමාණවත් වන්නේ දැයි යන ප්‍රශ්නයට පිළිතුරක් ලෙස මැතිවරණ කොමිසමේ නිලධාරියෙක් ජනමාධ්‍ය වෙත පවසා ඇත්තේ, ඉන් රුපියල් බිලියන 8ක් පමණක් වියදම් කිරීමට සැලසුම් කර ඇති බවයි.

“රාජ්‍ය ආයතනවලින් වාහන කුලියට ගැනීමේදී අපි භාරගන්නේ හොඳ තත්ත්වයේ තිබෙන වාහන පමණයි. මැතිවරණ කාලේදී එහෙම නැත්නම් අපිට එයාලගේ අලුත්වැඩියාවට ගෙවන්න බැහැ. මීට පෙර විවිධ රාජ්‍ය ආයතන අපට අලුත්වැඩියා කළ යුතු මට්ටමේ වාහන එවනවා. ඉන්පසුව, අපේ වියදමින් ඒවා අලුත්වැඩියා කර මැතිවරණයට අදාළ රාජකාරි සඳහා භාවිතා කිරීමට අපට සිදුවුණා. අපි මේ වතාවේ එය කරන්නේ නැහැ”ඔහු පවසා ඇත..

ඡන්ද දායකයන්ගේ ඇඟිලිවල නොමැකෙන ලකුණු සඳහා භාවිතා කළ යුතු තීන්ත පිළිබඳව විමසූ විට ඔහු පවසා ඇත්තේ, ප්‍රමාණවත් තොග ආනයනය කිරීම වෙනුවට දේශීය සැපයුම්කරුවෙකුගෙන් මෙවර තීන්ත ලබාගන්නා බවයි.

“අපිට ගිය පාරත් දේශීය සැපයුම් කරුවෙක් හිටියා. ඊට පෙර අපි විදේශ සැපයුම්කරුවෙකුගෙන් නොමැකෙන තීන්ත ලබාගත්තා,” ඔහු පවසා තිබේ.

මීට අමතරව තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද පත්‍රිකා මැතිවරණ කොමිෂන් සභාවට ඊයේ භාරදීමට නියමිතව තිබිණි. තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඒවා සඳුදා අදාළ අධීක්ෂණ නිලධාරීන් වෙත යොමුකිරීමට නියමිතය.