August 25, 2024

මේ වසරේ ගෙවීගිය මාස අටක අධික කාලයේදී ලීසිං වාරික නිසි ලෙස නොගෙවීමේ චෝදනාව මත වාහන 5000 කට අධික සංඛ්‍යාවක් අදාළ ආයතන විසින් අත්පත් කරගෙන තිඛෙන බව ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමය සඳහන් කරයි.

පසුගිය වසරේ දී වාහන 10000 කට ආසන්න සංඛ්‍යාවක් මේ ආකාරයට අත්පත් කරගෙන තිඛෙන බවත්, ලීසිං වාරික ගෙවීමේ පදනම මත වාහන ලබාගෙන, පවතින ආර්ථික අර්බුදය නිසා වාරික ගෙවීමට නොහැකිව සිටින පිරිස් සඳහා සහන ලබාදෙන ලෙසට ගෙවීගිය කාලය පුරාම බලධාරීන්ගෙන් ඉල්ලා සිටි බවත් එම සංගමයේ සභාපති අසංක රුවන් පොතුපිටිය සඳහන් කළේය.

මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතය සියයට නවයක් බවට පත් වී තිබුණත් ඇතැම් ලීසිං ආයතන විසින් ලීසිං ණය වාරික සඳහා තවමත් සියයට 19ත් 23ත් අතර, මුලක් පොලී වශයෙන් අයකර ගනිමින් තිබෙන අතර, පොලී මුදලවත් අඩුකරදීමට කටයුතු කර නොමැති බව හෙතෙම පැවසීය.

මූල්‍ය ආයතන වෙත දේපොළ උගස් කර ණය ලබාගත් පිරිස් සඳහා ණය ගෙවීමට අදාළව මේ වසරේ දෙසැම්බර් 15 වැනි දින දක්වා සහන ලබාදීමට රජය මැදිහත් වී කටයුතු කළද, මෙම පිරිස්වල ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීමේ කිසිදු වැඩපිළිවෙළක් තවමත් නොමැති බව හෙතෙම සදහන් කළේය.

මේ නිසා මෙම වසරේ දෙසැම්බර් 15 වන දිනෙන් පසු දේපළ උගස්කර ණය ලබාගත් පිරිස්වල දේපළ පවා අහිමි විය හැකි බවද රුවන් පොතුපිටිය පවසා සිටියේය.

ණය වාරික තුනක් ගෙවා ගැනීමට නොහැකි වුවහොත් වාහනය සීසර්වරුන් බලහත්කාරයෙන් රැගෙන යන බවත්, මේ නිසා ලිසිං වාරික ගෙවන ජනතාවට සහන ලබාදීමේ වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් ඔහු සඳහන් කළේය.(ලංකාදීප)