August 24, 2024

2023 ජූලි මාසයට සාපේක්ෂව 2024 ජූලි මාසයේදී වෙළඳ භාණ්ඩ අපනයනය 6.58%ක වර්ධනයක් වාර්තා කරමින් අමෙරිකානු ඩොලර් මිලියන 1,087.6ක් උපයා ඇති බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) පවසයි.

ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද තාවකාලික දත්තවලට අනුව, මෙයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ ඇඟලුම් සහ රෙදිපිළි, තේ, පොල් ආශ්‍රිත නිෂ්පාදන, කුළුබඩු සහ සාන්ද්‍ර සහ මුහුදු ආහාර අපනයනයෙන් ඉපැයීම් ඉහළ යෑමයි.

තවද, 2024 ජූනි මාසයට සාපේක්ෂව 2024 ජූලි මාසයේ අපනයන කාර්ය සාධනය 0.98%කින් වැඩි වී තිබේ.

2024 ජූලි මාසය සඳහා ඇස්තමේන්තුගත සේවා අපනයන වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 293.26ක් වූ අතර එය 2023 අනුරූප කාලපරිච්ඡේදයට වඩා 16.44%කින් වැඩි විය.

එහි ප්‍රතිඵලයක් වශයෙන්, 2024 ජූලි මාසය සඳහා වෙළඳ භාණ්ඩ සහ සේවා යන දෙඅංශයෙන්ම මුළු අපනයනය, 2023 අනුරූප කාලපරිච්ඡේදයට වඩා 8.53%ක වර්ධනයක් සහිතව අමෙරිකානු ඩොලර් මිලියන 1,380.84ක් ලෙස වාර්තා වී තිබේ.