August 24, 2024

පෞද්ගලික රූපවාහිනී නාලිකාවක විකාශය වූ දේශපාලන වැඩසටහනකදී පාර්ලිමේන්තු මන්ත්‍රී වේලු කුමාර් අසත්‍ය චෝදනා එල්ල කිරීම නිසා තමන් කෝපයට පත් වූ බව එම ගැටුම පිළිබඳ අදහස් දක්වමින් පී.දිගම්බරම් මන්ත්‍රීවරයා කියා සිටියි.

එම මන්ත්‍රීවරුන් දෙදෙනාම දෙමළ ප්‍රගතිශීලී සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ය.

වේලු කුමාර් පසුගියදා ඉන් ඉවත් වී ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය දැක්වීමට තීරණය කළ අතර දිගම්බරම් සමගි ජන බලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහාය දක්වයි.

වේලු කුමාර් මන්ත්‍රීවරයා තමාට විරුද්ධව බොරු චෝදනා එල්ල කළ නිසා තමන්ට තරහ ගිය බවත් බොරු චෝදනා එල්ල කරන විට සැබෑ මිනිසුන්ගේ කෝපය පුපුරා යන බවත් ඔහු ප්‍රකාශ කර තිබේ.

මේ අතර මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලීමක් කර තිබිණි.

ඔහු ප්‍රකාශ කර තිබුණේ එය කලින් සැලසුම් කළ සිදුවීමක් බවයි.

පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් විසින් විකාශය කරන ලද සජීවී දේශපාලන සංවාද වැඩසටහනක් අතරතුර වේලු කුමාර් සහ දිගම්බරම් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ශාරීරික වශයෙන් ගැටුමකට මැදිහත්වන අයුරු පසුගියදා දක්නට ලැබිණි.