August 23, 2024

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන්ගේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු වැඩබලන මහලේකම් සාරතී දුෂ්මන්තගේ සහාය, මෙවර ජනාධිපතිවරණයේදී ස්වාධීන අපේක්ෂකයකු ලෙස තරග කරන ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලබාදෙන බවට මීට සුළු වේලාවකට පෙර සහතික විය.

මීට සුළු වේලාවකට පෙර ෆලවර් රෝඩ් හි ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලයේදී, රනිල් වික්‍රමසිංහ හමුවූ මෙම දෙදෙනා මෙසේ ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය කරවීම සදහා එක්වූවේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ උප සභාපති අංගජන් රාමනාදන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කරමින් 2013 වසරේදී උතුරු පළාත් සභා මන්ත්‍රීවරයෙක් ලෙස තේරී පත්වූ අතර, 2015 වසරේදී ජාතික ලයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස පළමුවරට පාර්ලිමේන්තුවට තේරී පත්වූයේය.

2020 වසරේදී පැවැති මහමැතිවරණයෙන් යාපනය දිස්ත්‍රික්කයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කළ ඔහු පාර්ලිමේන්තුවට දෙවැනිවරටත් තේරී පත්විය.

ඔහු මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙක් ලෙස කටයුතු කරමින් සිටී.

පාර්ලිම්න්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා ලෙසද කටයුතු කරන්නේ අංගජන් රාමනාදන්ය.

සාරතී දුෂ්මන්ත මිත්‍රපාල 2015 වසරේදී පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය කරමින් කෑගල්ල දිස්ත්‍රික්කයෙන් පළමුවරට පාර්ලිමේන්තුවට තේරී පත්විය.

පසුගිය කාලයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහලේකම්වරයා ලෙස කටයුතු කළ ඔහු මේ වන විට පක්ෂයේ මධ්‍යම කාරක සභිකයෙක් ලෙස කටයුතු කරමින් සිටී.