60.21%
17.34%
18.42%
August 22, 2024

2024 ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය පළ කරන බව තවත් දේශපාලනඥයන් කිහිප දෙනෙකු ප්‍රකාශ කර තිබේ.

හිටපු ඇමැති එස්.බී. නාවින්න, සමගි ජන බලවේගයේ යාපනය දිස්ත්‍රික් සංවිධායක වික්ටර් ස්ටැන්ලි, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ප්‍රචාරක ලේකම් යූ.එල්.එම්.එන්. මුබීන් සහ ශ්‍රී ටෙලෝ සංවිධානයේ නායක පරරාජසිංහම් උදයරාසා යන පිරිස ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කර තිබේ.

කොළඹ 07 පිහිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රචාරක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් එම කණ්ඩායම සිය තීරණය ප්‍රකාශ කර තිබිණි.

ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් අතරින් රටේ අනාගතය මෙහෙයවීමට සුදුසුම පුද්ගලයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ බව එස්.බී.නාවින්න පැවසීය.

වසර හතරක විවේකයකින් පසු, පවතින තත්ත්වය අනුව රටේ අනාගතය හැඩගස්වා ගැනීමට හොඳම අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ යැයි විශ්වාස කරමින් තමන් ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයට සහාය දැක්වීමට නැවත පැමිණි බව ද ඔහු සඳහන් කළේය.

මාධ්‍ය අමතමින් සමගි ජන බලවේගයේ යාපනය දිස්ත්‍රික් සංවිධායක වික්ටර් ස්ටැන්ලි පැවසුවේ අර්බුද සමයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැදිහත් වී අධෛර්යමත් වූ ජාතියකට බලාපොරොත්තුවක් ගෙන දුන්නේ පෝලිම් යුගය අවසන් කරමින් බවයි.

මඩකලපුව දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ක්‍රියාකාරී සාමාජිකයන් සැළකිව යුතු පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කර සිටින බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ප්‍රචාරක ලේකම් යූ එල් එම් එන් මුබීන් පැවසීය.

ටෙලෝ නායක පරරාජසිංහම් උදයරාසා සඳහන් කළේ සජිත් ප්‍රේමදාස නිවාස ඇමැතිවරයාව සිටියදී යාපනය දිස්ත්‍රික්කයේ ආරම්භ කළ කිසිදු නිවාස ව්‍යාපෘතියක් සාර්ථකව නිම නොකළ බවත් සිය ජනතාව යළිත් එවැනි හිස් පොරොන්දුවලට රැවටිය නොහැකි බවත්ය.

 

60.21%
17.34%
18.42%