52.9%
21%
19.6%
August 20, 2024

 

රට පුරා වන අලි සංගණනය සිදුකරන විට විද්‍යුත් පන්දම් දැල්වීමකින් තොරව සඳ එළියේ ආධාරයෙන් එය සිදුකරන ලෙස වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සිය නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසුවේ දැල්වෙන පන්දම් සෑම විටම අලි රංචුවලට බාධා කරන බවයි.

රට පුරා අලි සංගණනය අගෝස්තු 17 සිට 19 දක්වා සිදු වූ අතර රට පුරා නිරීක්ෂණ මධ්‍යස්ථාන 3,130 ක් ඒ සඳහා භාවිත විය.

වනජීවී දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය, අනෙකුත් රාජ්‍ය ආයතන, ආරක්ෂක අංශ, පෞද්ගලික අංශයේ සේවකයන්, සිසුන් සහ ස්වේච්ඡා සේවකයෝ සංගණනය සඳහා සහභාගී වූහ.

“නියඟ කාලවලදී ජලය ඉතිරි වන විශාල රක්ෂිත ප්‍රදේශ ආශ්‍රිතව අපි සංගණනය කළේ අලි ඇතුන් ඔක්කොම එකතු වෙන නිසා. දමන වනාන්තරවල සංගණනය සාර්ථක වුණා. නමුත් අනෙකුත් ප්‍රදේශවලට වර්ෂාව නිසා අමාරු වුණා,” ඔහු පැවැසීය.

වසර 13කට පසුව දෙපාර්තමේන්තුව මගින් මෙම අලි සංගණනය සිදුකෙරිණි.

අවසන් වරට අලි සංගණනය 2011 දී සිදුකරන ලද අතර, එහිදී ශ්‍රී ලංකාවේ වන අලි 5,879 ක් සිටින බව අනාවරණය විය.

එතැන් පටන් වෙඩි වැදීම්, විදුලි සැර වැදීම් සහ දුම්රියේ හැපීම නිසා අලි ඇතුන් විශාල සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට අහිමි විය.

වැඩිම ඇතුන් සංඛ්‍යාවක් ඝාතනය වී ඇත්තේ අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් බව රජයේ දත්ත පෙන්වා දෙයි.

කෙසේ වෙතත්, 2022 සැප්තැම්බර් 15 වන දින පළකරන ලද සටහනකට අනුව, දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය කියාසිටියේ, රටේ අලි ගහණය 7,000 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

කෙසේවෙතත් ශ්‍රී ලංකාවේ දළ ඇතුන් සංඛ්‍යාව අඩු වී ඇති බව වාර්තා වේ.

වෙබ් අඩවියට අනුව, රට තුළ වනාන්තර ආශ්‍රිතව සිටින්නේ ඇතුන් 142 ක් පමණි.

52.9%
21%
19.6%