53.84%
19.85%
20.11%
August 19, 2024

වත්මන් ආණ්ඩුව හිතාමතාම මැතිවරණ නීතිය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් බරපතළ කනස්සල්ලක් මතුකරන අතරම, නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ක්‍රියාමාර්ගය (පැෆ්රල්) ජනාධිපතිවරයා විසින් ජනාධිපති උපදේශකවරුන් දෙදෙනෙකු පත්කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට දැනුම් දී තිබේ.

ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි කියාසිටියේ, ජනාධිපති උපදේශකවරුන් දෙදෙනෙකු පත්කිරීම මැතිවරණ නීතිය පැහැදිලිවම උල්ලංඝණය කිරීමක් මෙන්ම මහජන මුදල් අවභාවිත කිරීමක් බවයි.

ජනාධිපතිවරයා විසින් මනුෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු යන හිටපු ඇමතිවරුන් දෙදෙනාව, ඔවුන් පෙර දැරූ ඇමැතිධුරවල විෂයපථයන්ට අදාළවම ජනාධිපති උපදේශකයන් ලෙස පත්කිරීමට කටයුතු කර ඇත.

“ජනාධිපති උපදේශකවරුන් ලෙස පත්කර ඇති දෙදෙනාම ජනාධිපතිවරයාගේ මැතිවරණ ව්‍යාපාරයේ සක්‍රීයව නියැලී සිටිනවා. මේ අනුව, මෙම පියවර මැතිවරණ නීතිය යටතේ තහනම් කර ඇති, අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය කිරීමේ උපක්‍රමයක්,” යැයි රෝහණ හෙට්ටිආරච්චි පෙන්වාදෙයි.

“තවදුරටත් සිදුවන්නේ මෙම දෙපළට හිමිවන රජයේ වාහන ඇතුළු ප්‍රතිලාභ වෙනුවෙන් මහජන මුදල් අයථා පරිහරණයයි,” යැයි ඔහු සඳහන් කරයි.

මේ අතර මැතිවරණ නීතිය උල්ලංඝනය කරමින් අමාත්‍යාංශ පහක වාහන මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යොදාගෙන ඇති අතර රජයේ ආයතනවල ස්ථාන මාරුවීම් 14ක් ද සිදුකර ඇති බව රෝහණ හෙට්ටිආරච්චි අනාවරණය කළේය.

53.84%
19.85%
20.11%