53.84%
19.85%
20.11%
August 19, 2024

සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් දිස්ත්‍රික්ක 6ක ආරම්භ කර ඇති රුපියල් කෝටි 20 කට වඩා වැඩි වටිනාකමකින් යුත් සංවර්ධන ව්‍යාපෘති කීපයක් ජනාධිපති ලේකම් කාර්යාලයේ උපදෙස් මත නවතා දමා ඇත.

මන්නාරම, වවුනියාව, මුලතිව්, පුත්තලම, ත්‍රිකුණාමලය සහ මඩකළපුව යන දිස්ත්‍රික්කවල සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මීට පෙර අනුමැතිය ලබාගෙන තිබිණි.

ඉතා ඉක්මනින් සංවර්ධනය විය යුතු බවට අදාළ දිස්ත්‍රික්කවල ජනතාව, ග්‍රාම සංවර්ධන සමිති, සුබසාධන සංගම් සහ අනෙකුත් ප්‍රජා මූලික සංවිධානවල ඉල්ලීම් මත පදනම්ව ව්‍යපෘති ආරම්භ කළ බව බදියුදීන් ප්‍රකාශ කළේය.

කෙසේවෙතත් පසුගිය බ්‍රහස්පතින්දා අදාළ දිස්ත්‍රික්ක හයේ ලේකම්වරුන්ට ජනාධිපති ලේකම් කාර්යාලයේ ගණකාධිකාරි එස්.ඒ.පී. කුමාරි මාර්ගෝපදේශ සපයා ඇත්තේ අදාළ ව්‍යපෘති අත්හිටුවන ලෙසත් ඒ සඳහා වෙන්කළ ප්‍රතිපාදන වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත ජනාධිපති ලේකම් කාර්යාලයට යොමුකරන ලෙසත්ය.

එලෙස මාර්ගෝපදේශ නිකුත් කරමින් යොමුකළ ගණකාධිකාරි එස්.ඒ.පී. කුමාරිගේ අත්සනින් යුත් ලිපිය දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලැබීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාබදියුදීන් ජනාධිපතිවරයාට ලිපියක් යොමුකරමින් දන්වා ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාසට සහාය දීමට ගත් තීරණය හේතුවෙන් සංවර්ධන ව්‍යාපෘති අත්හිටුවීමට ජනාධිපති ලේකම් කාර්යාලය තීරණය කළේ දැයි සැකයක් පවතින බවයි.

එසේම ජනාධිපතිවරයාගේ අනුදැනුමකින් තොරව ඇතැම් පුද්ගලයන් සහ නිලධාරීන් සදාචාර විරෝධීව මෙවැනි ක්‍රියාමාර්ගයක් ගෙන ඇතැයි තමන් විශ්වාස කරන බවත්, දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලබා දී ඇති මාර්ගෝපදේශ අවලංගු කරමින් සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට අදාළ නිලධාරීන්ට උපදෙස් දෙන ලෙස ඉල්ලා සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ජනාධිපතිවරයාට යොමුකළ ලිපියේ සඳහන් වේ.

සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට ඉඩ ලබානොදුනහොත් අකැමැත්තෙන් හෝ මැතිවරණ කොමිෂන් සභාවට මේ සම්බන්ධව පැමිණිලි කිරීමට සිදුවන බවත්, දිස්ත්‍රික්කවල ලේකම්වරුන්ට ලබා දී ඇති මාර්ගෝපදේශ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බවට තමන් විශ්වාස කරන බවත් බදියුදීන් ජනාධිපතිවරයාට යොමුකළ ලිපියේ දැක්වේ.(Sunday Times)

53.84%
19.85%
20.11%