49.8%
16.4%
25.8%
August 18, 2024

නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ ගල්අඟුරු අවශ්‍යතාවයෙන් 2024/25 සහ 2025/26 යන කාලසීමාවන්ට අදාළ ගල්අඟුරු අවශ්‍යතාවයෙන් 50%ක් ලබා ගැනීමේ දිගුකාලීන ටෙන්ඩරය අවලංගු කිරීමට ඉඩ ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් වාර්තා වේ.

ඊට හේතු වී ඇත්තේ වත්මන් ගල් අඟුරු සැපයුම්කරු වන රුසියාවේ Black Sand Commodities Fz Llc (BSC) සමාගම ටෙන්ඩර් ක්‍රියාවලියේ දී තෝරාගත් ලංසුකරුට වඩා අඩු මිලකට ගල් අඟුරු ලබා දීමට යෝජනා කර තිබීමයි.

ලංකා ගල්අඟුරු සමාගමේ ලියාපදිංචි සැපයුම්කරුවකු නොවන BSC සමාගම ටෙන්ඩර් ක්‍රියාවලියට සහභාගී වී නොමැති බව දැනගන්නට ඇත.

කෙසේවෙතත්, සමාගම් පහක් ටෙන්ඩරය සඳහා ලංසු ඉදිරිපත් කර තිබූ අතර, ඉන් හතරක් අවශ්‍ය සියලුම ලංසු කොන්දේසි සපුරා ඇති බවට සැළකේ.

මුදල් අමාත්‍යාංශයේ ස්ථාවර ඇමැති කමිටුව විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුව විසින් ඇගයීම් ක්‍රියාවලිය අවසන් කිරීමෙන් පසුව, තෝරාගත් ලංසුකරු අනුමැතිය සඳහා ඇමැති මණ්ඩලය වෙත යවා තිබිණි.

මීට සති කිහිපයකට පෙර මෙම ටෙන්ඩරය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණද මෙම කාලය තුළ රුසියානු සමාගම අඩු මුදලකට ගල්අඟුරු සැපයීමට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

ඊට ප්‍රතිචාර වශයෙන්, තෝරාගත් ලංසුකරු සමඟ මිල ගණන් නැවත සාකච්ඡා කරන ලෙස ඇමැති මණ්ඩලය ප්‍රසම්පාදන කමිටුව වෙත උපදෙස් දී ඇතත්, ලංකා විදුලිබල මණ්ඩලයේ ආරංචි මාර්ග සඳහන් කළේ මෙම සාකච්ඡා සාර්ථක වී නොමැති බවයි.

2024/25 සහ 2025/26 කාල සීමාවන් ආවරණය වන පරිදි මෙම ටෙන්ඩරයෙන් ගල්අඟුරු මෙට්‍රික් ටොන් මිලියන 2.25ක් ලබා ගැනීමට අපේක්ෂා කර තිබේ.

දීර්ඝ කාලීන ටෙන්ඩරය සඳහා නියමිත කාලය වූ ජූලි 8 වැනිදා අවසන් වීමට පෙර කිහිප වතාවක් දීර්ඝ කර තිබිණි.

අප්‍රේල් 2 වැනිදා අවසන් වීමට නියමිතව තිබූ ටෙන්ඩරය පළමුව මැයි 2 දක්වාත් පසුව ජුනි 24 දක්වාත් දීර්ඝ කරන ලදී.

ලංකා ගල්අඟුරු සමාගම විසින් කලින් පැහැදිලි කරන ලද පරිදි, ටෙන්ඩරය දීර්ඝ කර ඇත්තේ සමහර සැපයුම්කරුවන්ට ඔවුන්ගේ රටවල ඇතැම් නිවාඩු දින, ඇතැම් බැංකු පහසුකම් සහ තවත් හේතු කිහිපයක් හේතුවෙන් ඔවුන්ගේ ලංසු සූදානම් කිරීමට වැඩි කාලයක් අවශ්‍ය වූ බැවිනි.

ලංකා ගල්අඟුරු සමාගම විසින් ගල් අඟුරු ගොඩබෑමේ වාර දෙකක් සඳහා අවශ්‍ය මුළු අවශ්‍යතාවයෙන් 50%ක් පමණක් ලබා ගැනීම සඳහා තනි ටෙන්ඩරයක් නිකුත්කිරීමෙන් මෙවර දීර්ඝ කාලීන ටෙන්ඩරය සඳහා වෙනස් ප්‍රවේශයක් අනුගමනය කිරීමට නියමිතව තිබිණි.

ලක්විජය බලාගාරයට ගල්අඟුරු සැපයීම සඳහා පසුගිය වසරේ දීර්ඝ කාලීන ගල් අඟුරු ටෙන්ඩරය රුසියාවේ BSC සමාගම විසින් දිනා ගන්නා ලදී.

සමාගම විසින් ගල් අඟුරු නැව්ගත කිරීම් 38ක් හරහා මෙට්‍රික් ටොන් මිලියන 2.25ක් සැපයීමට අපේක්ෂා කරන ලදී.

BSC විසින් මතභේදාත්මක Coral Energy Group ට පසුව, මෙට්‍රික් ටොන් එකකට ඩොලර් 123කට ආසන්න මිලකට දිගු කාලීන කොන්ත්‍රාත්තුව සඳහා ලංසු ඉදිරිපත් කර තිබිණි.

මෙම ටෙන්ඩරය මුලින් Coral Energy Group වෙත ලබා දී ඇති නමුත් පසුව ලංකා ගල් අඟුරු සමාගම එහි ලංසුව අවලංගු කර ඇත.

කලාපයට අදාළ ගැටලු සඳහන් කරමින් තමන් මුලින් යෝජනා කළ මිලට ගල්අඟුරු ලබාදිය නොහැකි බව Coral Energy Group දන්වා තිබිණි.

BSC දෙවන අඩුම ලංසු ඉදිරිපත් කර ඇති බැවින් ටෙන්ඩරය ලබා දීමට ඔවුන් තෝරාගෙන ඇත.

විදුලිබල මණ්ඩලයට අනුව, රටේ ජාතික විදුලිබල පද්ධතියට ගල්අඟුරු දායකත්වය සමස්ත විදුලි ජනන අවශ්‍යතාවයෙන් 40.3%ක් පමණ දක්වා ඉහළ ගොස් ඇත.

ඒ විදුලිබල මණ්ඩලය දැඩි වියළි සමයක් අපේක්ෂා කරන පසුබිමකය.

ලක්විජය බලාගාරය විසින් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 900කට ආසන්න බලශක්තියක් සපයන අතර එය රටේ සමස්ත බලශක්ති අවශ්‍යතාවයෙන් 40%ක් පමණ වේ.

49.8%
16.4%
25.8%