52%
16.8%
23.9%
August 18, 2024

ජීවිත තර්ජන ඇති ජනාධිපති අපේක්ෂකයන්ට විශේෂ ප්‍රභූ ආරක්ෂාව ලබාදීමට රජය තීරණය කර ඇත.

ජනාධිපති අපේක්ෂකයන්ට ඇති තර්ජන සම්බන්ධයෙන් මේ දිනවල පුළුල් තක්සේරුවක් කරගෙන යන අතර එම තක්සේරුවෙන් අනතුරුව ලැබෙන වාර්තාව පදනම් කරගෙන ජිවිත තර්ජන ඇති අපේක්ෂකයන්ට මෙසේ විශේෂ ආරක්ෂාව දෙන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.

ජනාධිපතිවරණ කාලසීමාවේ දී අපේක්ෂකයන්ගේ ආරක්ෂාව සහ හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අධීක්ෂණය කිරීම සඳහා ඇමැති මණ්ඩලයේ අනුමැතිය මත විශේෂ කමිටුවක් පසුගියදා පත් කරනු ලැබීය.

එම කමිටුවේ සභාපති ධුරය දරන්නේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාය.

කමිටුව ගන්නා තීරණ අනුව අපේක්ෂකයන්ගේ ආරක්ෂාව වැඩි කිරීමට පියවර ගන්නා බවද එම ප්‍රකාශකයා සඳහන් කළේය.

මේ අනුව තර්ජන පවතින අපේක්ෂකයන්ගේ නිවාසවලට මෙන්ම එහා මෙහා ගමන් කරන අවස්ථාවන්හිදීද ඔවුනට විශේෂ ආරක්ෂාව සැපයීම කෙරෙනු ඇත.

එසේම ජනාධිපති අපේක්ෂකයන් සහභාගී වන සියලුම රැස්වීම් සඳහා විශේෂ ආරක්ෂාව සැපයීමටද රජය තීරණය කර ඇත.

ඒ සඳහා වෙනම ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරේ.

මේ සම්බන්ධයෙන් දිවයින පුරා සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් දැනටමත් දැනුවත් කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

ජනාධිපතිවරණයට මෙවර අපේක්ෂකයෝ 39 දෙනෙක් ඉදිරිපත් වෙති.

මින් දස දෙනෙකු පමණ ඉදිරිපත් වන්නේ පිළිගත් ප්‍රධාන දේශපාලන පක්ෂවලිනි.

(ලංකාදීප)

52%
16.8%
23.9%