49.8%
16.4%
25.8%
August 17, 2024

2025 වසරේ සිට රාජ්‍ය අංශයේ සේවකයන්ගේ වැටුප රුපියල් 25,000කින් වැඩි කිරීමට කැබිනට් මණ්ඩලය ගත් නවතම තීරණය ජනාධිපතිවරණයේදී රජයේ සේවකයන්ගේ නිදහස් ඡන්දයට දැඩි බලපෑමක් එල්ල කළ හැකි බව ස්වාධීන නිරීක්ෂකයන් මැතිවරණ කොමිසමට පැමිණිලි කර තිබේ.

ජනාධිපතිවරණය අවසන් වීමෙන් පසු මේ වසරේ නොවැම්බර් සිට රජයේ සේවකයන්ට රුපියල් 25,000ක ජීවන වියදම් දීමනාවක් ලබාදීමට සහ 2025 අයවැයෙන් 24%ක වැටුප් වැඩිවීමක් ලබාදීමට අඟහරුවාදා (13) රැස්වූ ඇමැති මණ්ඩලය තීරණය කර තිබිණි.

නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ක්‍රියාකාරීත්වය හෙවත් පැෆ්රල් නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ රජය පසුගිය මාස කිහිපය තුළ ජනාධිපතිවරණ ඉලක්ක කර ගනිමින් රාජ්‍ය බලය යොදා ගනිමින් විවිධ තීන්දු තීරණ ගත් බවයි.

මැතිවරණයක් ආසන්නයේ සහ විශේෂයෙන්ම මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු රාජ්‍ය සේවකයන්ගේ නිදහස් ඡන්දයට පැහැදිලිවම බලපාන පරිදි වැටුප් වැඩි කිරීමට පියවර ගැනීම එහි අලුත්ම තීරණය බව ඔවුන් පෙන්වා දී තිබේ.

මැතිවරණයක් ප්‍රකාශයට පත්කිරීමටත් පෙර වෘත්තීය සමිති රුපියල් 10,000ක වැටුප් වැඩිවීමක් ඉල්ලා සිටියදී රජය එය ප්‍රතික්ෂේප කළේ ඒ සඳහා ප්‍රමාණවත් මුදල් නොමැති බව පවසමිනි.

මෙවැනි තත්ත්වයක් තුළ හදිසියේ රුපියල් 25,000කින් වැටුප වැඩි කිරීමට ගත් තීරණය පුදුම සහගත බව පැෆ්රල් සංවිධානය කියයි.

එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසන්නේ මෙය බරපතළ නීති උල්ලංඝණය කිරීමක් බැවින් මේ පිළිබඳ මැතිවරණ කොමිසමේ අවධානයට යොමු කර ඇති බවයි.

2025 අයවැයට අනුව රාජ්‍ය සේවයේ සියලුම අංශවල වැටුප් සංශෝධනය කිරීම සඳහා නිර්දේශ ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කිරීමට විශේෂඥ කමිටුවක් පත් කිරීමට 2024 මැයි 27 වැනිදා කැබිනට් අනුමැතිය ලැබුණු බව කැබිනට් ප්‍රකාශක ඇමැති බන්දුල ගුණවර්ධන මේ සතිය මුලදී නිවේදනය කළේය.

මෙම වාර්තාව මගින් රාජ්‍ය අංශයේ වැටුප්, වැටුප් සහ අනෙකුත් වැටුප් සමාලෝචනය කරනු ඇත.

මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයා විසින් මෙම යෝජනා 2025 අයවැයට ඇතුළත් කිරීමට ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දී ඇත.

 

49.8%
16.4%
25.8%