42.31%
17.27%
32.76%
August 15, 2024

ස්වාධීන ජනාධිපති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්ව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී සිය පක්ෂය යටතේ තරඟ කිරීමට ඉඩ ලබා නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය ජනාධිපති අපේක්ෂකයා ලෙස ඔවුන්ගේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඉදිරිපත් කර තිබේ.

එසේ තිබියදී කැබිනට් හා රාජ්‍ය ඇමැතිවරුන් ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතර මන්ත්‍රීවරුන් මීට පෙර සමස්තයක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය ලැබූ වික්‍රමසිංහට සහාය පළ කර ඇත.

සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් පසු පාර්ලිමේන්තු මැතිවරණයද කඩිනමින් පැවැත්වීමට සිදුවන බවට මේ වන විට මත පළ වී තිබේ.

ඒ අනුව වික්‍රමසිංහට සහාය පළ කරන මන්ත්‍රීවරුන්ට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමට නාමයෝජනා ලබා දෙන්නේ දැයි කළ විමසීමකට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පවසා ඇත්තේ පක්ෂය ඉදිරිපත් කරන අපේක්ෂකයා වෙනුවට වෙනත් ජනාධිපති අපේක්ෂකයකුට සහාය දෙන ඕනෑම කෙනෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට පක්ෂයක් ලෙස තීරණය කර ඇති බවයි.

පක්ෂයේ විනය කඩ කරන පිරිසට නාමයෝජනා දීම පිළිබඳ කතා කිරීම ඵල රහිත බව ද ඔහු සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය රනිල් වික්‍රමසිංහට සහාය නොදී තමන්ගේම ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට තීරණය කිරීමෙන් පසුව නාමල් රාජපක්ෂ පක්ෂයේ අපේක්ෂකයා ලෙස නම් කරන ලදී.

කෙසේවෙතත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයන් සැළකිව යුතු පිරිසක් දැනටමත් වික්‍රමසිංහට සහාය පළ කර ඇත.

මෙම මන්ත්‍රීවරුන් වෙනම දේශපාලන සන්ධානයක් පිහිටුවීමට සැලසුම් කර ඇති අතර සෞඛ්‍ය හා කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණට එහි ප්‍රධාන ලේකම් ධුරය පිරිනැමීමට ඉඩ ඇති බව වාර්තා වේ.

42.31%
17.27%
32.76%