August 14, 2024

සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ දී තරගකාරීත්වයට අමතරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රාජපක්ෂවරුන්ට තවත් අසාමාන්‍ය අභියෝගයකට මුහුණ දීමට සිදුව තිබේ.

ඊට හේතු වන්නේ මහින්ද රාජපක්ෂගේ පුත් නාමල් රාජපක්ෂ ඉදිරි ජනාධිපතිවරණයේ පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස නම්කර සිටියදී තවත් නාමල් රාජපක්ෂ කෙනෙකු ඉදිරි ජනාධිපතිවරණයට ඇප මුදල් තැන්පත් කර තිබීම නිසා ඔහුට අමතරව ඡන්ද පත්‍රිකාවේ තවත් නාමල් රාජපක්ෂ කෙනෙකු ඇතුළත් වීමයි.

ඊයේ පස්වරුව වන විට අපේක්ෂකයන් 36 දෙනෙකු ඇප මුදල් ගෙවා අවසන් වී ඇති අතර ඇප මුදල් තැන්පත් කිරීම සඳහා අද දිනයද ඉතිරිවී තිබේ.

එක් දිනක් ඉතිරිව තිබියදී පවා 2024 ඡන්ද පත්‍රිකාව මෙතෙක් ජනාධිපතිවරණයකට ලැබෙන දිගම ඡන්ද පත්‍රිකාව බවට පත් වේ.

ඒ අතරින් එකම වාසගම සහිත නාමල්වරුන් දෙදෙනෙකු ලැයිස්තුවේ සිටීමෙන් ඡන්දය ප්‍රකාශ කිරීමේ දී ව්‍යාකූලතා මතුවීමේ අවදානමක් තිබේ.

විශේෂයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාමල් අවදානමට මුහුණ දෙනු ඇත.

ප්‍රධාන තරඟකරුවන්ට සමාන නම් ඇති අපේක්ෂකයන් ඉදිරිපත් කිරීම මීට පෙර රාජපක්ෂලා විසින්ම අත්හදා බැලූ උපක්‍රමයක් විය.

2015 දී, විපක්ෂයේ පොදු අපේක්ෂකයා වූ මෛත්‍රීපාල සිරිසේනගේ ඡන්දදායකයන් ව්‍යාකූල කිරීමේ උත්සාහයක් ලෙස රාජපක්ෂලා විසින් තවත් “සිරිසේන” කෙනෙකු ඉදිරිපත් කළා පමණක් නොව, ඔහුට පොළොන්නරුවේ සිරිසේනට සමාන හැඩගැන්වීමක් ද ලබා දීමට කටයුතු කර තිබිණි.

මෙම උපක්‍රමයට බොහෝ දෙනා නොරැවටුන ද ‘ඩුප්ලිකේට් සිරිසේන’ වූ A. R. සිරිසේන ඡන්ද 18,174ක් හෙවත් මුළු ඡන්ද ප්‍රමාණයෙන් සියයට 0.15ක් ලබා ගනිමින් තුන්වැනි ස්ථානයට පත් විය.

සමබිම පක්ෂයෙන් ඇප තැබූ නාමල් රාජපක්ෂ සැප්තැම්බරයේ මැතිවරණයට පිවිසීම ඡන්ද කැඩීමේ උත්සාහයක් බව නොරහසකි.

ඔහුගේ නම සිංහලෙන් ලියා ඇති විට එය පොදුජන පෙරමුණේ රාජපක්ෂගේ නමට සමාන වේ.

ඉංග්‍රීසි අක්ෂර වින්‍යාසයේ සුළු වෙනසක් දැකිය හැකි වන්නේ මෙම නාමල්ගේ පෙළපත් නාමය වන රාජපක්ෂ සඳහා ඉංග්‍රීසි ‘h’ අක්ෂරය (RajapaksHa) තිබීමයි.

2015 ඡන්ද විමසීමේදී මහින්දගේ ඡන්ද කිහිපයක් උදුරා ගැනීමට උත්සාහ කළ මෙම අනෙක් රාජපක්ෂ, ඡන්ද 14,379ක් ලබා ගනිමින් ව්‍යාජ සිරිසේනට මදක් පිටුපසින් සිව්වැනි ස්ථානයට පත්ව තිබිණි.

2019 ජනාධිපතිවරණයේදී, සැබෑ රාජපක්ෂ ඡන්දදායකයන් ආකර්ෂණය කර ගැනීමේ හැකියාව මෙම අනෙක් රාජපක්ෂගෙන් හීන වී ගොස් ඇති බව පෙනී ගියේ, ඔහුගේ ඡන්ද 9,497 දක්වා පහත වැටීමෙනි.

2015 මෙම අනෙක් රාජපක්ෂගේ ලකුණ වූයේ පැරණි මාදිලියේ රොටරි දුරකථනය වන අතර එය දැන් සජිත් ප්‍රේමදාසගේ සමගි ජන බලවේගය පක්ෂයේ ලකුණයි.

ඒ අනුව මෙම අනෙක් නාමල් රාජපක්ෂ මෙවර තරග කරන්නේ සමබිම පක්ෂයෙන් වන අතර එහි ලකුණ ලියුම් කවරය වේ.

කලක් රටේ ප්‍රබලම පක්ෂය වූ පොදුජන පෙරමුණේ අසමගිය සමඟ සටන් කිරීමට අමතරව, සාර්ථක ශ්‍රී ලාංකේය දේශපාලඥයකුගේ සියලු ප්‍රධාන ලක්ෂණ වන රැවටීම, නොමඟ යැවීම ආදිය සමඟ පොරබැදීමට ද මහින්දගේ පුත් නාමල් රාජපක්ෂට සිදුවනු ඇත.