August 13, 2024

කොළඹ වරාය නගරය තුළ අන්තර්ජාතිකව පිළිගත් පාසලක් , විශ්වවිද්‍යාලයක් සහ රෝහලක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිවලට ඉඩම් බදු දීම සඳහා වන යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ඒ අනුව 2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනතේ 6(1)(ඇ) වගන්තිය මඟින් කොළඹ වරාය නගරය බල ප්‍රදේශය තුළ පිහිටි සහ කොමිෂන් සභාවට පවරා ඇති රජයේ අලෙවි කළ හැකි ඉඩම් බදු දීමට කොමිෂන් සභාව වෙත බලය ලබා දී ඇත.

ඒ අනුව, කොළඹ වරාය නගරයේ පාසල්, විශ්වවිද්‍යාල සහ රෝහල් යන ව්‍යාපෘති සංවර්ධනය කිරීම සඳහා ආයෝජකයන් තෝරා ගැනීම පිණිස කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව විසින් යෝජනා කැඳවා තිබිණි.

ආසන්න වශයෙන් රෝහලක් සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 100ක් ද, පාසලක් සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 25ක් ද සහ විශ්වවිද්‍යාලයක් සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 25ක් ද ආයෝජනය කිරීම සඳහා වන යෝජනාවක් ආසිරි වරාය නගරය රෝහල (පෞද්ගලික) සමාගම සහ ගේට්වේ අන්තර්ජාතික විශ්වවිද්‍යාල (පෞද්ගලික) සමාගම විසින් ඉදිරිපත් කර ඇත.

ඒ අනුව, කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනතේ 6(1)(ඇ) වගන්තියෙහි විධිවිධාන පරිදි රෝහල, පාසල සහ විශ්වවිද්‍යාලය සඳහා ඉඩම් කොටස් බදු දීම සඳහා වන ගිවිසුම්වලට එළඹීම පිණිස ආයෝජන ප්‍රවර්ධන ඇමැති වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව ඇමැති මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

42.31%
17.27%
32.76%