August 10, 2024

නීත්‍යනුකූල විවාහ වයස අඩුකිරීමේ ආන්දෝලනාත්මක පනත් කෙටුම්පතක් ඉරාක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව යෝජනා කර ඇත්තේ ගැහැණු ළමුන්ගේ නීත්‍යනුකූල විවාහ වයස අවුරුදු 9 දක්වාත් පිරිමි ළමුන්ගේ විවාහ වයස අවුරුදු 15 දක්වාත් අඩු කිරීමටය.

මෙය මානව හිමිකම් කණ්ඩායම් සහ කාන්තා සංවිධාන අතර දැඩි කණස්සල්ලට හේතු වී තිබේ.

දැනට ඉරාකයේ නීතියට අනුව විවාහ වීමට පුද්ගලයකුගේ අවම වශයෙන් අවුරුදු 18ක් විය යුතුය.

කෙසේවෙතත්, ඉරාක අධිකරණ අමාත්‍යාංශය විසින් යෝජනා කරන ලද නව නීතිය අනුව පවුල් කාරණා සම්බන්ධයෙන් තමන් අනුගමනය කරන්නේ ආගමික නීති ද නැතහොත් සිවිල් අධිකරණ පද්ධතිය ද යන්න තෝරා ගැනීමට ජනතාවට ඉඩ සලසයි.

මෙම වෙනස උරුමය, දික්කසාදය සහ ළමා භාරකාරත්වය වැනි ක්ෂේත්‍රවල කාන්තා අයිතිවාසිකම් අඩු කළ හැකි බවට විවේචකයෝ කණස්සල්ලට පත්ව සිටිති.

නීතිය සම්මත වුවහොත් අවුරුදු නවයේ ගැහැණු ළමුන්ට සහ අවුරුදු 15ක් වන පිරිමි ළමුන්ට විවාහ වීමට අවසර ඇත.

මෙමගින් ළමා විවාහ සහ තරුණ ගැහැණු ළමුන් සූරාකෑම තවදුරටත් වැඩි වනු ඇති බවට සමාජය තුළ බියක් ඇති කර තිබේ.

මානව හිමිකම් සංවිධාන සහ ක්‍රියාකාරීහු මෙම පනත් කෙටුම්පතට දැඩි විරෝධය පළ කරති.

එය තරුණ ගැහැණු ළමුන්ගේ අධ්‍යාපනයට, සෞඛ්‍යයට සහ සමස්ත යහපැවැත්මට බරපතළ අහිතකර බලපෑම් ඇති කළ හැකි බවට ඔවුහු අනතුරු අඟවති.

ඔවුන් පෙන්වා දෙන්නේ ළමා විවාහ නිසා බොහෝ විට ගැහැනු ළමුන් පාසල් හැරයෑම, අඩු වයසින් ගැබ් ගැනීම, ගෘහස්ථ හිංසනයට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇති වන බවයි.

යුනිසෙෆ් සංවිධානයට අනුව, ඉරාකයේ ගැහැනු ළමුන්ගෙන් සියයට 28ක් වයස අවුරුදු 18 සම්පූර්ණ වීමට පෙර දැනටමත් විවාහ වී ඇත.

හියුමන් රයිට්ස් වොච් හි පර්යේෂකයකු පැවසුවේ මෙම නීතිය සම්මත කිරීම රට ආපස්සට යෑමක් බවයි.

නව නීතිය මගින් 1959 දී සිදු කරන ලද වෙනස්කම් ආපසු හැරවීමේ හැකියාව ඇත.

1959 දී සිදු කරන ලද වෙනස්කම් යටතේ පවුල් නීති තීරණ ආගමික නායකයන්ගෙන් ඉවත් කර එම බලය අධිකරණයට ලබා දුන්නේය.

යෝජිත නීතිය බොහෝ දුරට ෂියා සහ සුන්නි ඉස්ලාම් ආගමේ ආගමික නීති අනුගමනය කිරීමට මිනිසුන්ට ඉඩ සලසන නමුත් ඉරාකයේ අනෙකුත් ආගමික කණ්ඩායම් ගැන එහි සඳහන් කර නැත.

මෙම පනත් කෙටුම්පතට සහාය දක්වන්නන් පවසන්නේ එමගින් ඉස්ලාමීය නීතිය වඩාත් ස්ථාවර වන අතර තරුණ ගැහැණු ළමුන් නුසුදුසු සබඳතාවලින් ආරක්ෂා කරන බවයි.

කෙසේවෙතත්, විරුද්ධවාදීන් තර්ක කරන්නේ මෙම තර්කය ළමා විවාහවල අන්තරායන් නොසළකා හරින බවටයි.