August 8, 2024

දේශපාලන අස්ථාවරත්වය සහ අධික ණය බර හමුවේ බංග්ලාදේශයේ අනාගතය අවිනිශ්චිතතාවයකට ඇදවැටී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හසීනාගේ අවුල් සහගත පිටවීම සිදු වූයේ, බලාපොරොත්තු වූවාට වඩා දුර්වල වූ එක්සත් ජනපද රැකියා දත්ත ඇතුළු විවිධ සාධක මගින් අවුලුවාලන ලද භීතිකා මධ්‍යයේ ගෝලීය වෙලඳපොලට පහර වැදුණු මොහොතකය. මෙම අස්ථාවරත්වය සමහර අඩු ආදායම්ලාභී රටවල ණය දීමේ හැකියාව මත තවදුරටත් පීඩනයක් ඇති කරනු ඇතැයි අපේක්ෂා කරන අතර චීනය වැනි ඔවුන්ගේ ප්‍රධාන ණය හිමියන්ට එය අභියෝග එල්ල කරයි.

පවතින තත්ත්වය හමුවේ වැඩිම අවදානමකට ලක්ව ඇත්තේ බංග්ලාදේශයේ ණය හිමි රටවල්.

ඒ අතරින් චීනය ප්‍රධානයි.

බංග්ලාදේශයේ විශාලතම ණය හිමියන් වන්නේ ජපානය සහ රුසියාවයි.

ජපානයට සහ රුසියාවට පසුව බංග්ලාදේශයේ තුන්වන විශාලතම ද්විපාර්ශ්වික ණය දෙන්නා වන්නේ චීනයයි.

2023 අවසානය වන විට බංග්ලාදේශය ඩොලර් බිලියන 5 කට වඩා වැඩි ණය මුදලක් චීනයෙන් ලබා ගෙන ඇති බව ඩකා පදනම් කරගත් ඩේලි ස්ටාර් පුවත්පත වාර්තා කර තිබේ.

ජූලි මාසයේදී ද හසීනා නිල සංචාරයක් සදහා චීනයට ගිය අතර එහිදී ඇය අපේක්ෂා කළ ණය මුදල අතිරේක ඩොලර් බිලියන 5 කි.

එහෙත් එම සංචාරයේදී හසීනාට චීනයෙන් ඇය අපේක්ෂිත පිලිගැනීමක් නොලැබුණු අතර දින 05 ක සංචාරය දින 03 කින් නිමා කිරීමට ඇයට සිදු විය.

කෙසේවෙතත් බංග්ලාදේශයේ තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් චීන විදේශ අමාත්‍යාංශය පැවසුවේ චීනය බංග්ලාදේශයේ තත්ත්වය සමීපව නිරීක්ෂණය කරන බවයි.

“මිත්‍රශීලී අසල්වැසියෙකු සහ පුළුල් උපායමාර්ගික හවුල්කරුවෙකු ලෙස, බංග්ලාදේශය ඉක්මනින් සමාජ ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කරනු ඇතැයි චීනය අවංකවම බලාපොරොත්තු වේ,” යනුවෙන් චීනය නිකුත් කළ නිවේදනයේ සදහන්.

ඉහළ විරැකියාව සහ ණය පීඩනය මධ්‍යයේ රැකියා කෝටාවට එරෙහිව සති ගනනාවක් තිස්සේ පැවති මාරාන්තික රාජ්‍ය විරෝධී විරෝධතා වලින් පසු බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනා සඳුදා රටින් පලා ගියාය.