August 8, 2024

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ පවසන්නේ, ජාතික නායකත්වයට තරුණයකු අවශ්‍යව සිටි අරගලය ක්‍රියාකාරීන්ගේ ඉල්ලීමට අවනතව පක්ෂය විසින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළ බවයි.

ජනමාධ්‍යවේදීන් අමතමින් මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා කියාසිටියේ ජාතියේ තරුණ තරුණියන්ට මගපෙන්වීමට සහ උපකාර කිරීමට තරුණ නායකයකු අවශ්‍ය බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ එවැනි තරුණ නායකයෙකු බවත්ය.

ඉදිරි ජනාධිපතිවරණයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට තරුණයන්ගේ සහයෝගය ලැබෙන බවත්, ඔහු ජයග්‍රහණය කරනු ඇති බව තමා විශ්වාස කරන බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.

පක්ෂය හැර ගිය ඇතැම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට සහාය දැක්වීමට නැවත පැමිණෙන බවත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණ ව්‍යාපාරයට එක්වන ලෙස ඔවුන්ට ආරාධනා කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කළේය.

42.31%
17.27%
32.76%