August 6, 2024

තමන් සිදුකළ සංචාර සම්බන්ධයෙන් චෝදනා එල්ල කරන්නේ මුදලට විකුණුනු නායකයන් බවත් කිසිදු රටකට තම පක්ෂය මිලදී ගැනීමට නොහැකි බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි.

ඔහු පවසන්නේ විශාල ලෙස මුදල් වැය කරමින් තමන් විදේශ සංචාරවල යෙදෙන බවට නැගෙන චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි.

ඩේලිමිරර් පුවත්පත වෙනුවෙන් අජිත් සිරිවර්ධන පැවැත්වූ සම්මුඛ සාකඡාවකදී අනුර කුමාර දිසානායක මේ බව ප්‍රකාශ කර තිබිණි.

පහතින් දැක්වෙන්නේ එම සම්මුඛ සාකච්ඡාවේදී ඉදිරිපත් වූ ප්‍රශ්න කිහිපයකට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ලබාදුන් පිළිතුරුයි.

ප්‍රශ්නය : දිසානායක මහතාණනි, ඔබ ලොව පුරා සංචාරය කරමින් ඔබට සවන්දීමට විශාල වශයෙන් පැමිණෙන ශ්‍රී ලාංකියන් හමුවනවා. මේ සියලු සංචාර සඳහා අරමුදල් සපයන්නේ කවුද? ඒවා තුළ විනිවිදභාවයක් තිබිය යුතුයි නේද ?

පිළිතුර :ඇත්තටම කවුරුහරි කියලා තිබුණා මම විදේශ සංචාරවලට කෝටි 7ක් වියදම් කළා කියලා. මම ඉන්දියාවේ සහ චීනයේ සංචාරය කළේ ඔවුන්ගේ රජයන්ගේ ආරාධනයකට අනුවයි. ඉන්දියානු සහ චීන රජයන් සියලු වියදම් දරුවා.

ප්‍රශ්නය : එතකොට මේ විදේශ ආණ්ඩු ඔබට අනුග්‍රහය දැක්වූවා?

පිළිතුර : ඔව්, ඔවුන් මට අනුග්‍රහය දැක්වූවා. මම කොහේ ගියත් ආර්ථික පන්තියේ(ගුවන් ගමන්) ගමන් කරන්නේ. ව්‍යාපාරික පන්තිය භාවිත කරන කිසිවකුට මගේ විරුද්ධත්වයක් නැහැ. කාට හරි ඒක දැරිය හැකිනම් ඒක හරි. නමුත් මම ගමන් බිමන් යන්නේ අපේ සංක්‍රමණික සේවකයන් දෙන මුදල්වලින්. ඉතින්, මම කවදාවත් ව්‍යාපාරික පන්තිය භාවිත කරන්නේ නැහැ. මම දකුණු කොරියාව, ඔස්ට්‍රේලියාව, අමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව, ස්වීඩනය, එක්සත් රාජධානිය සහ ජපානය යන රටවල කළ සංචාරවලදී වියදම් කර තිබෙන්නේ රුපියල් මිලියන 3.37ක් (33,78,500) පමණයි.

ප්‍රශ්නය : ඔබ විනිවිදභාවය ගැන බොහෝ දේ කතා කරනවා, නමුත් NPP/JVP කවදාවත් ඔවුන්ගේ වත්කම් ප්‍රකාශ කර තිබෙනවද ? ඔබේ පක්ෂයට අරමුදල් සපයන්නේ කවුරුන්ද යන්න පිළිබඳ විනිවිදභාවයක් තිබෙනවද ?

පිළිතුර : වරලත් ගණකාධිකාරීවරයකු විසින් සහතික කරන ලද අපගේ පක්ෂ අරමුදල් පිළිබඳ වාර්තාව අපි සෑම වසරකම මාර්තු මාසයේදී මැතිවරණ කොමිෂන් සභාවට ඉදිරිපත් කරනවා. තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනතක් මඟින් ඔබට එය මැතිවරණ කොමිෂන් සභාවෙන් ලබාගන්න පුළුවන්. මම ඔබට එක දෙයක් කියන්නම්. ලොකුම පක්‍ෂ අරමුදල තියෙන්නේ අපි ළඟ කියලා තමයි ගොඩක් අය කියන්නේ. මැතිවරණ කොමිසමට ඉදිරිපත් කළ අපේ මූල්‍ය වාර්තාවේ රුපියල් මිලියන 83ක් තිබුණා. මට මතක හැටියට එජාපයට මිලියන 35ක්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මිලියන 17ක් තියෙනවා. ඔබ එය විශ්වාස කරනවාද? ඒකට හේතුව ඒගොල්ලෝ කළු සල්ලි පාවිච්චි කරන එක. ඔවුන්ගේ ගිණුම්වල මුදල් නැහැ. නමුත් අපේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට වඩා 100 ගුණයක් විශාල මුදලක් ඔවුන් තම මැතිවරණ ව්‍යාපාරයට පොම්ප කරනවා. ඔවුන් සැබෑ අරමුදල්වලින් හතරෙන් එකක් පමණයි මැතිවරණ කොමිසමට ඉදිරිපත් කරන්නේ. අපි හැම සතයක්ම බැංකු හරහා වියදම් කරනවා. මම මගේ වත්කම් ප්‍රකාශය කථානායකවරයාට ඉදිරිපත් කර තිබෙනවා.

ප්‍රශ්නය : මීළඟ ජනාධිපතිවරයා ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපති වී ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුවක් වනු දැකීමට අවශ්‍ය නිසා ඇතැම් රටවල් ඔබේ පක්ෂයට අරමුදල් සපයන බවට චෝදනා එල්ල වෙනවා. ඒ චෝදනා ගැන ඔබ මොකද කියන්නේ?

පිළිතුර : කිසිම රටකින් අපට මුදල් ලැබී නැහැ. මම කලිනුත් කිව්වා වගේ මගේ ගුවන් ටිකට්පත්වල වියදම ඉන්දියානු සහ චීන රජයන් දැරුවා. ඒ හැර මුදල් ලැබී නැහැ. අපි කුඩා බලවේගයක්. නමුත් කිසිම රටකට හෝ සංවිධානයකට අපිව මිල දී ගන්න බැහැ. ඒ චෝදනාව කරන්නේ මිලට ගත් නායකයන්.

42.31%
17.27%
32.76%