August 6, 2024

බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනාගේ ඉල්ලා අස්වීමත් සමග ICC කාන්තා T20 ලෝක කුසලානය – 2024 සඳහා සත්කාරකත්වය දැරීමට බංග්ලාදේශයට ඇති හැකියාව පිළිබඳ අවිනිශ්චිතතාවයක් මතු වී තිබේ.

2024 ICC කාන්තා T20 ලෝක කුසලානය ඔක්තෝබර් 3 සිට 20 දක්වා බංග්ලාදේශයේ දී පැවැත්වීමට නියමිතව තිබේ.

තරඟාවලිය ආරම්භ වීමට මාස දෙකකටත් අඩු කාලයක් ඉතිරිව ඇති හෙයින්, බංග්ලාදේශයේ නොසන්සුන්තාව දිගටම පැවතුනහොත් තරඟය විකල්ප ස්ථානයකට ගෙන යනු ඇති බවට කෙරෙන අනුමාන කිරීම් ඉහළ ගොස් ඇත.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මේ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කර නොමැති නමුත් ඔවුන්ගේ ඊළඟ පියවර තීරණය කිරීමට පෙර බංග්ලාදේශයේ වර්ධනය වන තත්ත්වයන් සමීපව නිරීක්ෂණය කරන බව පවසා ඇත.

“අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය, ඔවුන්ගේ ආරක්ෂක ආයතන සහ ස්වාධීන ආරක්ෂක උපදේශකයන් සමඟ සම්බන්ධීකරණයෙන් වර්ධනය වන තත්ත්වයන් සමීපව නිරීක්ෂණය කරයි. අපගේ ප්‍රමුඛතාව වන්නේ සහභාගී වන සියල්ලගේ ආරක්ෂාව සහ යහපැවැත්මයි,” යනුවෙන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රකාශකයකු පවසා තිබේ.

රජයේ රැකියා කෝටා ක්‍රමයක් සම්බන්ධයෙන් බංග්ලාදේශයේ නොසන්සුන්තාව පිළිබඳ කාරණය පසුගිය මාසයේ කොළඹ පැවති අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල වාර්ෂික සමුළුව අතරතුර සාමාජික රටවල් කිහිපයක් විසින් මතු කරන ලදී.

නමුත් මෙම ප්‍රශ්නය දින හතරක සමුළුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් නොවූ අතර ඒ නිසා එය විධිමත් ලෙස සාකච්ඡා කර නොතිබිණි.

කණ්ඩායම් දහයක් 2024 කාන්තා T20 ලෝක කුසලාන තරගාවලියේදී දින 18ක් පුරා තරඟ 23ක් පැවැත්වීමට නියමිතය.

ඩකා හි ෂර්-ඊ-බංගලා ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සහ සිල්හෙට්හි සිල්හෙට් අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී තරග පැවැත්වීමට නියමිතව තිබේ.

මැයි මාසයේදී, ICC විසින් කාන්තා T20 ලෝක කුසලාන කාලසටහන ඩකාහිදී ප්‍රකාශයට පත් කරන ලද අතර, එහිදී ඉන්දීය නායිකා Harmanpreet Kaur සහ බංග්ලාදේශ නායිකා Nigar Sultana සමඟ හසීනා පැමිණ සිටියාය.

ඉන්දියාව A කාණ්ඩයෙන් නවසීලන්තය, පකිස්ථානය, ශ්‍රී ලංකාව සහ වත්මන් ශූර ඕස්ට්‍රේලියාව සමඟින් සිටින අතර B කාණ්ඩය සත්කාරක බංග්ලාදේශය, එංගලන්තය, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව් සහ ස්කොට්ලන්තයෙන් සමන්විත වේ.

2014ට පසු බංග්ලාදේශය තරඟාවලියට සත්කාරකත්වය ලබා දෙන්න දෙවැනි වරටයි.

2023 ලෝක කුසලාන අනුශූරයන් වන දකුණු අප්‍රිකාව කාන්තා T20 ලෝක කුසලානයේ ආරම්භක තරඟයේදී එංගලන්තය සමඟ තරඟ කරයි.

ඉන් අනතුරුව සත්කාරක බංගලාදේශය ස්කොට්ලන්තය සමග ඩකා හිදී පැවැත්වෙන තරගයට සහභාගී වනු ඇත.

කාන්තා T20 ලෝක කුසලාන ශූරියන් ඔක්තෝම්බර් 20 වැනිදා ඩකාහිදී කිරුළු පැළඳීමට නියමිතය.