August 5, 2024

2022 දී ශ්‍රී ලංකාවේ ‘අරගලය’ ජනතා අරගලයට සමානව බංග්ලාදේශයේ ආණ්ඩු විරෝධී විරෝධතාකරුවන් ඩකාහි අගමැති ෂීක් හසීනාගේ මාළිගයට කඩාවැදී ඇත.

ජනමාධ්‍ය වාර්තාවලට අනුව, විරෝධතාකරුවන් අද ඩකාහි අගමැති හසීනාගේ මාළිගාවට කඩාවැදුණේ රට පුරා පැනවුණු ඇඳිරි නීතිය නොසළකා හරිමිනි.

අගමැති නිල නිවසට දහස් ගණන් මිනිසුන් කඩාවදින අයුරු ජාතික එරට රූපවාහිනියේ විකාශය වූ දර්ශනවලින් දැක්වේ.

හසීනාගේ නික්මයෑමේ පුවත පැතිරෙන්නට පටන් ගැනීමත් සමඟ විරෝධතාකරුවන් විශාල වශයෙන් වීථිවල ප්‍රීතිඝෝෂා කරන දර්ශන දැකගත හැකිවිය.

බලධාරීන් විසින් මර්දනය කිරීමට කටයුතු කරන ලද සති කිහිපයක විරෝධතා මධ්‍යයේ පුද්ගලයන් 300කට අධික සංඛ්‍යාවක් මියයෑමෙන් පසුව මෙම ඉල්ලා අස්වීම සිදුවිය.

ඊයේ(ඉරිදා) 100කට ආසන්න පිරිසක් මියගිය මාරාන්තික ප්‍රචණ්ඩත්වයේ රාත්‍රියකින් පසුව, විරෝධතාකරුවන් ඩකා වෙත පාගමනක් සංවිධානය කළ අතර, හමුදාව ජාතිය ඇමතීමට සූදානම් වීමත් සමඟ අද ආතතිය ඉහළ මට්ටමක පැවතිණි.

1971 පාකිස්ථානය සමඟ පැවැති නිදහස් යුද්ධයට එක්වූවන්ගේ පවුල්වල සාමාජිකයන් සඳහා රජයේ රැකියාවලින් තුනෙන් එකක් වෙන් කළ මතභේදාත්මක රැකියා කෝටා යෝජනා ක්‍රමයක් සම්බන්ධයෙන් රට තුළ විරෝධතා මාසයකට පෙර ආරම්භ විය.