July 24, 2024

පැලවත්ත ප්‍රදේශයේ රජයේ ආයතනයක කාමරයක් තුළදී 16 හැවිරිදි ශිෂ්‍යාවකට ලිංගික අතවර කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් නර්තන ගුරුවරයකු ඊයේ (23) දින සැකපිට අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසයි.

ලිංගික අතවරයක් කිරීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත ප්‍රකාශයක් ලබාදීම සදහා සැකකරු පැමිණි අවස්ථාවේදී මූලික විමර්ශණයකින් අනතුරුව මෙලෙස සැකකරු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකාර නර්තන ගුරුවරයා විසින් තවත් බාලවයස්කාර දැරියකට අතවර කිරීමක් සම්බන්ධයෙන් සතියකට පමණ පෙර හංවැල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත සිටින අයෙකු බවටද අනාවරණය වූ බවද පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රණාල ප්‍රදේශයේ පදිංචි පෞද්ගලික නර්තන පන්තියක් පවත්වාගෙන යන නර්තන ගුරුවරයකු වේ.

සැකකරු විසින් ඉකුත් ජනවාරි මාසයේ රජයේ නිවාඩු දිනයක් හෝ ඉරිදා දිනයකදී නර්තන කණ්ඩායමකට අවශ්‍ය ඇදුම් පිළිබදව සොයාබැලිීමට අවශ්‍ය බවට දැරියගේ දෙමාපියන්ට පවසා තම යතුරු පැදියෙන් මෙම 16 හැවිරිදි දැරිය සමගින් අදාළ අමාත්‍යාංශ ගොඩනැගිල්ල වෙත පැමිණ එහි කාමරයක් තුළදී දැරියට අතවර කර ඇතැයි පොලිසියට ලද පැමිණිල්ලෙහි සදහන් බවද තලංගම පොලිසියේ උසස් නිලධාරියකු පැවසීය.

ඒ අනුව සැකකරු අදාළ සිදුවීම වූ අමාත්‍යාංශ ගොඩනැගිල්ල වෙත පැමිණිලිකාර පාර්ශවය සමග රැගෙන ගොස් ස්ථානීය පරීක්ෂණයක් සිදුකිරීමට නියමිත බවත් ඉන් අනතුරුව සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් එම උසස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

තලංගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

42.31%
17.27%
32.76%