July 23, 2024

තමා අත්අඩංගුවට ගතහොත් ඇප මත මුදාහරින ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරන්නැයි ඉල්ලමින් අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහානාම අපේක්ෂිත ඇප අයැදුම් පතක් මගින් අධිකරණයෙන් කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් සිය ස්ථාවරය ලබන අගොස්තු 5 වැනිදා අධිකරණයට දැනුම් දෙන ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් මනෝදි හේවාවසම් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.

අනුරාධපුර අතිරේක මහේස්ත්‍රත්වරිය මෙසේ නියෝග කළේ තමා අත්අඩංගුවට ගතහොත් ඇප මත මුදාහරින ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරන්නැයි ඉල්ලා අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම ජ්‍යෙෂ්ඨ නීතිඥ උපාලි ජයමාන්න මගින් අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අපේක්ෂිත ඇප අයැදුම්පත ඊයේ (22) යළි සලකා බැලූ අවස්ථාවේදීය.

මෙම අපේක්ෂිත ඇප අයැදුම්පත යළි සලකා බැලූ අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන විමර්ශන කොට්ඨාසයේ උපපොලිස් පරික්ෂක සිරිවර්ධන අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළේ අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව කිසිදු සැකකරුවකු මෙතෙක් හඳුනාගෙන නොමැති බවයි.

ඒ පිළිබඳව තවදුරටත් විමර්ශන කෙරෙන බව ද හෙතෙම කියා සිටියේය.

එමෙන්ම මෙම සිද්ධියට අදාළව සහකාර පොලිස් අධිකාරි සංජීව මහානාම යන අය මෙතෙත් සැකකරුවකු ලෙස හඳුනා ගෙන නොමැති බව ද අධිකරණයට සැලකළ උපපොලිස් පරීක්ෂකවරයා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධියේ විමර්ශනවලට අදාළව සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාමට සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නගේ ආරක්ෂක නිලධාරියකුට නිකුත් කර තිබූ රාජකාරි පිස්තෝල දෙක විමර්ශනයක් සඳහා මේ වන විට රජයේ රස පරීක්ෂකවරයා වෙත යව ඇති බවත් එහි වාර්තාව මෙතෙක් ලැබී නැති බවත් අධිකරණයට දැනුම් දුන්නේය.

කෙසේවෙතත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනමාධ්‍ය හමුවකදී කියාසිටියේ හිටපු මන්ත්‍රීවරයා සහ අදාළ පොලිස් නිලධාරියා එක්ව මෙම වෙඩිතැබිම සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි.

42.31%
17.27%
32.76%