July 19, 2024

සර්වජන ඡන්ද බලය හිමිවීමෙන් පසුව ප්‍රජාතන්ත්‍රවාදය අඛණ්ඩව ක්‍රියාත්මක එකම රට ශ්‍රී ලංකාව වන බවත් එම තත්ත්වය ඉදිරියටත් රැකගැනීමට තමන් කැපවන බැවින් ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන් කිසිදු බියක් ඇති කර නොගත යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ව්‍යවස්ථා සංශෝධන සිදුකිරීමේදී තමන් එහි වගකීම බාරදෙන්නේ විෂය සම්බන්ධ පළපුරුදු අයකුට බවත්, ඒ අනුව එවැනි කටයුතු සිදුකළේ කේ. එන්. චොක්සි වැනි නීතිඥවරුන් සමඟ බවත් ජනාධිපතිවරයා සිහිපත් කළේය.

කෙසේවුවත් 2015 වසරේ ව්‍යවස්ථා සංශෝධනය සිදුකරන අවස්ථාවේදී කේ. එන්. චොක්සි ජීවතුන් අතර නොසිටි බැවින් එම කටයුත්ත ජයම්පති වික්‍රමරත්න නීතිඥවරයාට බාරදීමට සිදු වූ බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කර සිටියේය.

එම අවස්ථාවේ ඔහුගෙන් සිදු වූ අතපසුවීමක් නිසා වත්මන් ගැටළු සහගත තත්ත්වය ඇති ව තිබෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ඒ පිළිබඳ තමන් ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බවද පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ ගාල්ල, බෙලිගහ ප්‍රදේශයේ ඉදිකළ නව අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට අද (19) එක්වෙමිනි.

ජනාධිපතිවරයා එහිදී මෙසේද පැවැසීය.

“අපට පාර්ලිමේන්තුවේ වාද කළ හැකියි. නමුත් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළ යුතුයි. දැන් ඉදිරියේදී මැතිවරණය පැවැත්වෙනවා. අගවිනිසුරුතුමා සහ ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබෙනවා ඡන්දය මෙම කලාසීමාවේදී පැවැත්විය යුතුයි කියලා. අපත් ඊට එකඟයි.

2015 වසරේ අප අලුත් ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් කළා. මම මෙවැනි කටයුතු සාමාන්‍යයෙන් භාර දෙන්නේ කේ. එන් චොක්සි නීතිඥතුමාටයි. නමුත් ඒ වන විට ඔහු ජීවතුන් අතර නොසිටි නිසා ජයම්පති වික්‍රමරත්න නීතිඥතුමාට එම කටයුත්ත භාර දුන්නා. එතුමාට එක වාක්‍යයක් ඉවත් කිරීමට නොහැකි වුණා. එපමණයි සිදුව තිබෙන්නේ. මේ කෑ ගහන්නේ ඒකට. එය එතුමාගෙන් සිදු වූ අතපසුවිමක්. එම අතපසුවීම ගැන රටේ ජනතාවගෙන් මම සමාව ඉල්ලනවා. ඒ ගැන තවත් ප්‍රකාශ සිදු කිරීම අවශ්‍ය නැහැ. ඒ නිසා මේ පිළිබඳ බය වෙන්න එපා. අපේ රට 1931 සිට ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර තිබෙනවා.”

42.31%
17.27%
32.76%