July 18, 2024

විශ්වසනීය සාක්ෂි නොමැතිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත(PTA) යතේ ක්‍රියා නොකරන බවට රජය නැවත නැවතත් ප්‍රතිඥා දී තිබියදීත් විරුද්ධවාදීන් බවට විශ්වාස කළ හැකි පිරිස සහ සුළුතර ප්‍රජාවන් ඉලක්ක කර ගනිමින් දිගින් දිගටම එය භාවිත කරමින් සිටින බවට හියුමන් රයිට්ස් වොච් නව වාර්තාවකින් පවසයි.

එම වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ ඇතැම් වින්දිතයන් වසර ගණනාවක් අත්තනෝමතික ලෙස රඳවා තබාගෙන වධ හිංසාවලට ලක්ව ඇති අතර තවත් සමහරු ඔවුන්ට එරෙහි නඩු ඉවත් කිරීමෙන් පසුව පවා පීඩාවට පත්ව ඇති බවයි.

2022 දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවේ කළ කතාවක දී, එවක විදේශ ඇමැතිවරයා එය භාවිත කිරීම තහනම් කරන බවට පොරොන්දු වූ නමුත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ යටතේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබා ගැනීම් දිගටම පැවතුණු බවද එහි දක්වා තිබේ.

2015 සිට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කිරීමට රජය දුන් පොරොන්දුවලට අනුව, එය ප්‍රතිස්ථාපනය කිරීමේ නීති කෙටුම්පත් 2023 මාර්තු මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද්දේ එය ත්‍රස්ත විරෝධී පනත (ATB) ලෙස නම් කරමිනි.

වාර්තාව පවසන්නේ නව පනත් කෙටුම්පතේ යම් වැඩිදියුණු කිරීම් අඩංගු වුවද අපයෝජනයට පහසුකම් සැලසිය හැකි ප්‍රතිපාදන ද එහි ඇතුළත් බවයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මෙන්ම, එය ප්‍රතිස්ථාපනය කිරීමේ පනත් කෙටුම්පත සැලසුම් කර ඇත්තේ සාක්ෂි නොමැතිව පුද්ගලයන් රඳවා තබා ගැනීමට, නොපැහැදිලි ලෙස අර්ථ දක්වා ඇති ආකාරයේ කථනය අපරාධ වරදක් බවට පත් කිරීම සහ රැස්වීම් සහ සංවිධාන අධිකරණයකින් තොරව අත්තනෝමතික ලෙස තහනම් කිරීමට ජනාධිපතිවරයාට, පොලිසියට සහ හමුදාවට පුළුල් බලතල ලබා දීමට බව ද එම වාර්තාව කියයි.

එමගින් ත්‍රස්තවාදයේ නිර්වචනය සඳහා දේපළ හානි වැනි අපරාධ ඇතුළත් කිරීමට සහ රැස්වීමේ සහ කතා කිරීමේ නිදහසට ඇති අයිතිවාසිකම් සීමා කිරීම දක්වා පුළුල් වනු ඇති බවද පැවසේ.

වරෙන්තුවක් නොමැතිව ඕනෑම අයකු නැවැත්වීමට, ප්‍රශ්න කිරීමට, පරීක්ෂා කිරීමට සහ අත්අඩංගුවට ගැනීමට එමගින් පොලිසියට සහ හමුදාවට පුළුල් බලතල ලබා දෙනු ඇති බව ද පෙන්වා දී ඇත.

ඒ අනුව එම වාර්තාව මගින් නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කර තිබේ.

එම නිර්දේශ වන්නේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට පූර්ණ තහනමක් පනවා එය අහෝසි කිරීමට රජය කටයුතු කිරීම, බලධාරීන් ප්‍රවීණයන් සහ සිවිල් සමාජය සමඟ සාකච්ඡා කර අයිතිවාසිකම්වලට ගරු කරන ත්‍රස්ත විරෝධී නීති කෙටුම්පත් කිරීම, එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ එක්සත් රාජධානිය ඇතුළු විදේශීය හවුල්කරුවන් ශ්‍රී ලංකාව එම නීතිය අවලංගු කිරීමට කැප විය යුතු බව අවධාරණය කිරීම සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් වාර්තා කිරීම සහ විමර්ශනය කිරීම සඳහාඉදිරිපත් කළ 46/1 යෝජනාවේ විධිවිධාන අලුත් කිරීමයි.

42.31%
17.27%
32.76%