July 17, 2024

ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල්පෙළ පිතිකරු කුසල් මෙන්ඩිස් එක්දින තරගවලින් ඉවත් කිරීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව T20 නායකත්වයෙන් වනිඳු හසරංග ඉල්ලා අස්වීමත් සමඟ එහි නායකත්වය ලබා දෙනු ඇති බවට විශ්වාස කෙරෙන චරිත් අසලංක වෙත එක්දින කණ්ඩායමේ නායකත්වය ද පැවරීමට නියමිත බව පැවසේ.

කුසල් මෙන්ඩිස් හොඳම පිතිකරුවා ලෙස මෙරට දිගු කාලයක් රැඳුණු ක්‍රීඩකයකු ලෙස සැළකේ.

මෙන්ඩිස් සැබෑ දක්ෂයකු බව බොහෝ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ද අදහසය.

කෙසේවෙතත්, විශේෂයෙන්ම පසුගිය කාලය තුළ ඔහුගෙන් අපේක්ෂා කළ තරම් ක්‍රීඩා විලාසයක් දක්නට නොලැබිණි.

දැනට පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේදී ද ඔහු පිතිකරුවකු ලෙස සුපිරි දස්කම් දක්වන්නට අසමත් වී තිබේ.

පසුගිය දිනවල ඔහු වඩාත් ජනප්‍රිය වූයේ දුනිත් වෙල්ලාලගේ සමඟ පිටියේදී ඇතිකර ගත් වාග් ප්‍රහාරයක දර්ශන පෙළක් නිකුත්වීමත් සමගය.

එහි දැක්වුණේ වෙල්ලාලගේ ඔහුගේ ඕවරය සඳහා වේගයෙන් දුව එද්දී පන්දුවට මුහුණ දීමට සූදානම් නොවූ මෙන්ඩිස් වෙල්ලාලගේ නවතා ‘එක පාරක් කිව්වා, ආයේ කියන්නේ නෑ’ යනුවෙන් තරමක ආවේගයෙන් කරන ප්‍රකාශයකි.

වෙල්ලාලගේ පසුව කුසල් මෙන්ඩිස්ගේ කඩුල්ල ලබා ගත්තේ මෙන්ඩිස්ගේ ‘විගඩම්’ නිසා කුපිත වූ බොහෝ දෙනෙකු අමන්දානන්දයට පත් කරමිනි.

මේ වන විට බොහෝ ජාතික ක්‍රීඩකයන් මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් වී ඇත්තේ ඔවුන්ගේ විනයයි.

මෙන්ඩිස්ට පිටියෙන් පිටතදී ගැටලු ඇඇති වූ අයුරින්ම පිටියේදී ද හොඳින් ඉදිරියට යෑමට නොහැකි වී තිබේ.

ඔහු මීට පෙර පැවති LPL තරඟාවලියකදී චාමික කරුණාරත්න සමඟ උණුසුම් වාදයක පැටලීම කාගේත් අවධානයට ලක්විය.

වනිඳු හසරංග තවත් එවැන්නෙකි.

ඔහු ක්‍රීඩා පිටියේ ‘අලි ඔළුවෙන්’ සිටීම නිසා ක්‍රීඩා ලෝලීන්ගෙන් බරපතළ විවේචනයට ලක්වන අයෙකි.

කඩුල්ලක් ගත් පසු ඔහු සිදුකරන රංගනයන් ද ක්‍රීඩා ලෝලීන්ට ප්‍රිය වුයේ නැත.

අවසානයේ ඔහුට T20 නායකත්වයෙන් ඉවත්වීමට ද සිදුවිය.

ධනංජය ද සිල්වා ද රසිකයකු මෝඩයකු ලෙස හැඳින්වූ තවත් ක්‍රීඩකයෙකි.

කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, මුත්තයියා මුරලිදරන් වැනි ක්‍රීඩකයන් සිටි ලංකාවේ ස්වර්ණමය පරම්පරාව සහ වත්මන් පරම්පරාව අතර ඇති ලොකුම වෙනස නම් අද සිටින තරුණ ක්‍රීඩකයන්ට නිහතමානීකම නොමැතිවීමයි.

කුමාර් සංගක්කාර වැන්නකුට ඔවුන්ගේ වෘත්තීය ජීවිතයේ වැඩි කාලයක් තරහාකරයන් සිටියේ නැත.

මුරලිදරන් ද පිටියේ දී මහත්මයකුගේ හැසිරීමක් ප්‍රදර්ශනය කළේය.

ජයග්‍රහණයේදී සහ පරාජයේදී ප්‍රේක්ෂකයන් ඔවුන්ට සැමදා ආදරය කළේ එබැවිනි.

ඔවුන් 2007 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය පරාජය ව ආපසු පැමිණෙන විටත් ඔවුන්ට උණුසුම් පිළිගැනීමක් හිමිවුයේ එම නිසාය.

ඇතැම් අවස්ථාවල මාධ්‍ය සමඟ ගැටලු තිබූ ලසිත් මාලිංග පවා තවමත් පිටියේ අපූරු චරිතයක් ලෙස කටයුතු කරමින් සිටී.

දැන් සිටින ක්‍රිකට් ක්‍රීඩකයන් තමන් දක්ෂයන් ලෙස සිතා සිටිය ද ඇත්ත වශයෙන්ම ඔවුන් ඊට සැතපුම් මිලියන ගණනක් ඈතින් සිටින බව මෑත කාලීන ලෝක කුසලාන තරඟාවලියේ පැහැදිලිව පෙන්නුම් කළ බව නොරහසකි.

කුසල් මෙන්ඩිස්ට ක්‍රිකට් ක්‍රීඩාවෙන් කෙටි විවේකයක් ලබාදිය යුතුව ඇත.

ඔහු ඔහුගේ දක්ෂතා යළිත් ඔප්පු කළ යුතුය.

ඔහු කණ්ඩායමේ රැඳී සිටියහොත් එය මුළු දේශීය ක්‍රිකට් ක්‍රීඩාවටම වැරදි පණිවිඩයක් ලබා දෙනු ඇත.

දිනේෂ් චන්දිමාල්, කුසල් ජනිත් පෙරේරා සහ අවිශ්ක ප්‍රනාන්දු වැනි LPL තරඟාවලියේ ලකුණු අතර සිටි ක්‍රීඩකයන්ගේ දස්කම් නොසළකා හැරීම අසාධාරණයක් වනු ඇත.